6. 5. 4.
පඨමරහෝනිසජ්ජ ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහු ගේ ජේතවන නම් අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර යහළුවාගේ ගෙට ගොස් ඔහුගේ ඇඹේණිය සමඟ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හුන්නේ යැ. එකල්හි ඒ පුරුෂ තෙමේ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. “කෙසේ නම් ආර්ය්ය උපනන්ද මාගේ ඇඹේණිය සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හිඳීම කරන්නේ” දැයි.
2. භික්ෂූහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ පුරුෂයාගේ (අකීර්තිශබ්දය) ඇසූහු. යම් ඒ භික්ෂූ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර මාගමක සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හිඳීම කෙළේ” දැයි .... “සැබෑ ද උපනන්දයෙනි, තෙපි මාගමක සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ නිසද්යා කළවු දැයි, සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂය! තෙපි මාගමක සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හුන්නහු ද? හිස් පුරුෂය, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් මාගමක සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ නිසද්යා කරන්නේ නම් පචිති වේ යයි.
3. යො පන: යම් යම්බඳු ... භික්ඛු: ... මෙතෙමේ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
මාතුගාම නම්: මිනිස්මාගම යි. යකිනි නො වෙයි. ප්රේතී නො වෙයි. තිරිසන්ගිය මාගම නො වෙයි. යටත් පිරිසෙයින් එදවස උපන්නා වූ ද දැරිය යි. වැඩිහිටියක ගැන කියනුම කවරේ ද?
සද්ධිං: එක්වැ;
රහෝ නම්: ඇසට නො හමු යැ, කනට නො හමු යැ, ඇසට නො හමුව නම්; ඇස හෝ කසනු ලබන කල්හි බැම හෝ නඟනු ලබන කල්හි හිස හෝ ඔසවනු ලබන කල්හි බලන්නට නො හැකි වෙයි. කනට නො හමුව නම්; පියවිබස් අසන්නට නො හැකි වෙයි.
පටිච්ඡන්න නම්: අසුන භිත්තියෙන් හෝ කවුළුයෙන් දොපියනින් හෝ කළාල යෙන් හෝ කඩතුරායෙන් හෝ රුකින් හෝ ටැඹෙන් හෝ කොතැලියෙන් හෝ යම් කිසිවෙකින් පිළිසන් වූයේ වෙයි.
නිසජ්ජං කප්පෙය්ය: මාගම හුන් කල්හි මහණ වෙතැ හුන්නේ හෝ වෙතැ හොත්තේ හෝ වේ නම් පචිති ඇවැත් වෙයි. මහණ හුන් කල්හි මාගම වෙතැ හුන්නේ හෝ වෙතැ හොත්තේ හෝ වේ නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන මැ හුන්නාහු වෙත් නම් හෝ දෙදෙන මැ හොත්තාහු වෙත් නම් හෝ පචිති ඇවැත් වේ.
මාගම කෙරෙහි මාගමක යන සන් ඇතියේ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හිඳී නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි විමති ඇතියේ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හිඳී නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි නො මාගමකයන සන් ඇතියේ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ නිසද්යා කෙරේ නම් පචිති ඇවැත් වේ.