6. 5. 3.
සභෝජන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර යහළුවක්හුගේ ගෙට ගොස් ඔහුගේ අඹුව සමග යහන්ගෙයි හිඳීම කෙළේයැ. එකල්හි ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍රයා වෙත එළැඹියේයැ, එළැඹ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා සකසා වැඳ එකත්පසෙකැ හුන්නේ යැ, එකත් පසෙකැ හුන් ඒ පුරුෂ තෙමේ ‘ආර්‍ය්‍යයහට (වහන්දෑට) භික්‍ෂාව දෙව’ යි අඹුවට කී යැ. ඉක්බිති ඒ ස්ත්‍රී තොමෝ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට භික්‍ෂාව දුන්නී යැ, එකල්හි ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට මෙය කී ය. “ආර්‍ය්‍යයහට භික්‍ෂාව දෙනලද හෙයින් වහන්ස, වඩින්නැ” යි. එකල්හි ඒ ස්ත්‍රීතොමෝ “මේ පුරුෂ රාගපර්‍ය්‍යුත්‍ථිත” යැයි සලකා ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට මෙය කිවුය; “වැඩ හිඳින්න වහන්ස, නහමක් වඩින්නැ” යි. දෙවනවටදු ඒ පුරුෂ තෙමේ ... තෙවනවට දු ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට මෙය කී ය: “ආර්‍ය්‍යයහට භික්‍ෂාව දෙන ලද හෙයින් වහන්ස, වඩින්නැ” යි. තෙවනවටදු ඒ ස්ත්‍රී තොමෝ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට මෙය කිවු ය: “වැඩ හිඳින්නැ වහන්ස, නහමක් වඩින්නැ” යි.
2. ඉක්බිති ඒ පුරුෂ තෙමේ නික්මැ මහණුන් (හමුයෙහි) දොස් පැවැරී යැ: “ස්වාමීනි, මේ ආර්‍ය උපනන්‍ද තෙමේ මාගේ අඹුව සමග යහන්ගෙයි හුන්නේ යැ, හේ මා විසින් නඟා යවනු ලබන්නේ යන්නට නො කැමැති වෙයි, ඇපි බොහෝ කිස ඇතියම්හ. බොහෝ කරණී ඇති යම්හ”යි. යම් ඒ භික්‍ෂූ කෙනෙක් අපිස්වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙළේ දැ යි ... සැබෑද උපනන්‍ද, තෝ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙළෙහි දැයි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂය! තෝ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙළෙහි ද? හිස් පුරුෂය මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි. ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
යම් මහණෙක් අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කරන්නේ නම් පචිති වේ යැයි.
3. යො පන: යම් යම්බඳු ... භික්ඛු: ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
සභෝජන කුල නම්: ස්ත්‍රී තොමෝත් වෙයි. පුරුෂ තෙමේත් වෙයි. ස්ත්‍රිය ද පුරුෂයා දැයි දෙදෙන (ගෙයින්) නො නික්මුණෝ වෙති. දෙදෙන නො පහකළ රාග ඇතියෝ ද වෙත්.
අනුපඛජ්ජ: ඇතුළට පිවිසැ,
නිසජ්ජං කප්පෙය්‍ය: මහත් යහන්ගෙයකැ දොරබාවෙහි (දෙරියන්වියත්) අත්පස හැරපියා හිඳී නම් පචිති ඇවැත් වෙයි. කුඩා යහන්ගෙයකැ ගෙමැද ඉක්මවා හිඳී නම් පචිති ඇවැත් වේ.
යහන්ගෙයි යහන්ගෙයෙකැ යන සන් ඇතියේ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැදහිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙයි. යහන්ගෙයි විමති ඇතියේ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙයි. යහන්ගෙයි යහන්ගෙයෙකැ යන සන් නැතියේ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙයි.
නො යහන්ගෙයි යහන්ගෙයෙකැ යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො යහන්ගෙයි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො යහන්ගෙයි නො යහන්ගෙයෙකැ යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
මහත් යහන්ගෙයි දොරබාවෙහි අත්පස නො හැරපියා හිඳී නම්, කුඩා යහන්ගෙයි ගෙමැද නො ඉක්මවා හිඳී නම්, මහණක්හු දෙවැනි කොට ඇතියේ වේ නම්, දෙදෙන නික්මුණාහු වෙත් නම්, දෙදෙන පහකළ රාගඇතියෝ නම්, නො යහන්ගෙයි නම්, ඇවැත්නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
තෙවැනි සභෝජන ශික්‍ෂාපදයි.
6. 5. 4.
පඨමරහෝනිසජ්ජ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහු ගේ ජේතවන නම් අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර යහළුවාගේ ගෙට ගොස් ඔහුගේ ඇඹේණිය සමඟ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හුන්නේ යැ. එකල්හි ඒ පුරුෂ තෙමේ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. “කෙසේ නම් ආර්‍ය්‍ය උපනන්‍ද මාගේ ඇඹේණිය සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හිඳීම කරන්නේ” දැයි.