6. 5. 2.
උය්යෝජන ශික්ෂාපදය
1. එසමයෙහි භගවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර බෑයාගේ සද්ධිවිහාරික භික්ෂුහට මෙය කී යැ. “එව ඇවැත්නි, ගමට පිඬු පිණිස පිවිසෙම්හ” යි, ඔහුට නො දෙවා නඟා යැවී යැ: “යා ඇවැත්නි, තොප සමඟ බිණීම හෝ හිඳීම හෝ මට පහසු නො වෙයි, එකලා වූ මට බිණීම හෝ හිඳීම හෝ පහසු වේ” යයි. එකල්හි ඒ මහණ වළඳන වේලා එළඹැ සිටි කල්හි පිඬු පිණිස හැසිරෙන්නට නො හැකි වූයේ යැ. අසුන්හලෙහි දු බත්කිස නො හඹා ගත්තේ යැ සුන්බත් විය.
2. ඉක්බිති ඒ මහණ ආරාමයට ගොස් මහණුන්ට තෙල කරුණ දැන්වී යැ. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්ර “එව ඇවැත්නි, ගමට පිඬු පිණිස පිවිසෙම්හ” යි, මහණක්හට කියා ඔහුට (යමක්) නො දෙවා නඟා යැවී” දැ යි ... සැබෑ ද උපනන්දයෙනි, තෙපි “එව ඇවැත්නි, ගමට පිඬු පිණිස පිවිසෙම්හ” යි, මහණක්හට කියා ඔහුට නො දෙවා නඟා යැවූ දැ”යි, ... සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය: තෙපි “එව ඇවැත්නි, ගමට පිඬු පිණිස පිවිසෙම්හ” යි, කියා ඔහුට නො දෙවා නඟා යැවූහුද? හිස් පුරුෂය, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මහණක්හට “එව ඇවැත්නි, ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙම්හ” යි බැණ ඔහුට දෙවා හෝ නො දෙවා හෝ “යා ඇවැත්නි, තොප සමග බිණීම හෝ හිඳීම හෝ මට පහසු නො වෙයි, එකලා වූ මට බිණීම හෝ හිඳීම හෝ පහසු වේ” යයි අන් කරුණක් නො වැ මෙය මැ කරුණු කොට ගෙන නඟා යවන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම් යම්බඳු ... භික්ඛු: ... මෙ තෙමේ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි. භික්ඛුං: අන් මහණක්හු. ඒහාවුසෝ ගාමං වා නිගමං වා: ගම ද නියම්ගම ද නගරය ද ගමත් වේ නියම්ගමත් වේ.
තස්ස දාපෙත්වා: හඹු හෝ බත් හෝ කෑයුතු දැයක් හෝ බිඳිය යුතු දැයක් හෝ දෙවා,
අදාපෙත්වා: කිසිවක් නො දෙවා.
උය්යෝජෙය්ය: මාගමක සමග සෙනු කැමැත්තේ කෙළිනු කැමැත්තේ නොරඹුරෙහි හිඳිනු කැමැත්තේ නොසිරිත්හි හැසිරෙනු කැමැත්තේ මෙසේ කියා: “යා ඇවැත්නි! තෝ සමග බිණීම හෝ හිඳීම හෝ මට පහසු නො වෙයි, එකලා වූ මට බිණීම හෝ හිඳීම පහසු වේ” යැයි නඟා යවා නම් දුකුළා ඇවැත් වෙයි; දසුන් උවසර හෝ සවන් උවසර හෝ හරින්නහුට දුකුළා ඇවැත් වෙයි. හළ කල්හි පචිති ඇවැත් වේ.
ඒතදෙවපච්චයං කරිත්වා අනඤ්ඤං: නඟා යවන්නට අන් කිසිදු කරුණෙක් නො වේ.
උපසපනක්හු කෙරෙහි උපසපනෙකැයි සංඥා ඇතියේ නඟා යවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නඟා යවා නම් පචිති ඇවැත් වෙයි. උපසපන්නක්හු කෙරෙහි අනුපසපෙනෙකැයි සංඥා ඇතියේ නඟා යවා නම් පචිති ඇවැත් වේ.
එරෙහි බස් නඟා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු නඟා යවා නම් දුකුළා ඇවැත් වෙයි. එරෙහි බස් නඟා නම් දුකුළා ඇවැත් වෙයි.
අනුපසපනක්හු කෙරෙහි උපසපනෙකැයි සංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි.
දෙදෙන එක් වැ නො යැපෙන්නම්හ යි නඟා යවා නම් මාඇඟි බඩුවක් දැකැ ගිජුකම උපදවන්නේ යයි නඟා යවා නම්, මාගමක දැකැ උකටළිය උපදවන්නේ යැයි නඟා යවා නම්, ගිලනුනට හෝ නැවතී සිටින්නහුට හෝ වෙහෙර රක්නහුට හෝ හඹු හෝ බත් හෝ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ ගෙන යව යි නඟා යවා නම්, නො සිරිත්හි නො හැසිරෙනු කැමැත්තේ කරුණක් ඇති කල්හි නඟා යවා නම් ඇවැත්නැති, උම්මතත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දෙවෙනි උය්යෝජන ශික්ෂාපද යි.