6. 3. 7.
සංවිධාන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් වැ අදන්මඟට පිළිපදිත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: යම්සේ ඇපි අඹුන් සහිත වැ ඇවිදිමු නම් එසේ මැ මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ද මෙහෙණන් සමඟ ඇවිදුනාහ යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් වැ අදන්මගට පිළිපන්නාහු දැ යි...
සැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණන් සමඟ සංවිධානය කොට ගෙන එක් වැ අදන්මගට පිළිපදිවු දැ යි.
සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණන් සමඟ නියම කොටගෙන එක් වැ අදන්මගට පිළිපන්නු දැ යි. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … තව ද මහණෙනි, මෙසේත් මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මෙහෙණක හා සමඟ කථා කොටගෙන යටත් පිරිසෙයින් අන්ගමකටදු (යනුවට) එක් වැ අදන් මඟට පිළිපන්නේ නම් පචිති වේ” යයි.
මෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි බොහෝ භික්‍ෂූහු ද භික්‍ෂුණීහු ද සාකේතයෙන් සැවැතට යන අදන්මගට පිළිපන්නාහු වෙති. එකල්හි ඒ භික්‍ෂුණීහු ඒ භික්‍ෂූන්ට මෙය කීහු: “ඇපිදු ආර්‍ය්‍යයන් සමඟ යම්හ” යි. නැඟණියනි, මෙහෙණක හා සමඟ කථාකොට ගෙන එක් වැ අදන් මඟට පිළිපදින්නට නො කැප යැ. තෙපි හෝ පෙරාතු වැ යවු. ඇපි හෝ යම්හ යි. වහන්ස, ආර්‍ය්‍යයෝ අග්‍රපුරුෂයෝ යැ. ආර්‍ය්‍යයෝ මැ පෙරාතු වැ යෙත්වා යි.
4. එකල්හි පසු වැ යන්නා වූ ඒ මෙහෙණන්ට අනදර කොට අතරැ මග සොරු (පා සිවුරු) ඇසිඳගැන්ම ද කළහ. දූෂණ ද කළහ. එකල්හි ඒ මෙහෙණහු සැවැතට ගොස් මෙහෙණන්ට තෙල කරුණ දැන්වූහ, මෙහෙණහු මහණුන්ට තෙල කරුණ දැන්වූහ. මහණහු භාග්‍යවතුන්ට තෙල කරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. “මහණෙනි, සැක සහිත යැ යි දන්නා ලද බිය සහිත වූ සාර්‍ත්‍ථයක් හා සමඟ යා යුතු මඟෙකැ මෙහෙණක හා සමඟ කථා කොට ගෙන එක් වැ අදන්මඟට පිළිපදනට අනුදනිමි.” තව ද මහණෙනි, මෙසේත් මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මෙහෙණක හා සමඟ කථා කොටගෙන යටත් පිරිසෙයින් අන්ගමකට දු (යනුවට) සුදුසු සමය තබා එක් වැ අදන්මඟට පිළිපදනේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි: සාර්‍ත්‍ථයක් හා යා යුතු වූ මාර්‍ගය වෙයි, සැක සහිත යැ යි සම්මත වෙයි, බිය සහිත වේ, මේ එහි සමය යි”.
5. යෝපන යනු: යම්, යම්බඳු … භික්ඛු … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
සද්ධිං යනු: එක් වැ.
සංවිධාය යනු: “යමු බුහුන යමු ආර්‍ය්‍යය, යමු ආර්‍ය්‍යය යමු බුහුන, අද හෝ හෙට හෝ තෙවන දා හෝ යමු” යි සංවිධාන කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අන්තමසෝ ගාමන්තරම්පි යනු: කුක්කුට සම්පාත (පියස්සෙන් පියස්සට කුකුළකුට ඉගිළැ යා හැකි) ගම්හි ගමක් ගමක් පාසා පචිති ඇවැත් වේ. ගමක් නො වන අරන්හි නම් අඩයොදුනෙහි අඩයොදුනෙහි පචිති ඇවැත් වේ.
අඤ්ඤත්‍ර සමයා යනු: සුදුසු සමය තබා.
සත්‍ථගමනීය නම්: මාර්‍ගය ගැල්සාත්තුවෙන් තොර වැ යන්නට නො හැකි වෙයි.
සාසඞ්ක නම්: ඒ මාර්‍ගයෙහි සොරුන් පිවිසිතැන් පැනෙයි, අහර ගත් තැන් පැනෙයි, සිටිතැන් පැනෙයි, හුන්තැන් පැනෙයි, හොත් තැන් පැනෙයි.