භික්ඛුනෝවාද වර්ගය
6. 3. 1.
ඕවාද ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ස්ථවිර භික්ෂූහු මෙහෙණන්හට ඔවා දෙන්නාහු චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසනය යැ ග්ලාන ප්රත්යය භෛෂජ්ය යැ යන පරිෂ්කාරයන් ලබන්නාහු වෙති. එකල්හි සවග මහණුන්හට මෙසිත විය: ඇවැත්නි, මෙකල ස්ථවිර භික්ෂූහු මෙහෙණන්හට ඔවා දෙන්නාහු චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසනය යැ ග්ලානප්රත්යයභෛෂජ්ය යැ යන පරිෂ්කාරයන් ලබන්නාහු වෙති. එහෙයින් ඇවැත්නි, අපිදු මෙහෙණන්හට ඔවා දෙම්හ යි.
2. එකල්හි සවග මහණහු මෙහෙණන් වෙත එළඹැ මෙය කීහු: නැගණියනි, අප වෙත ද එළඹෙවු. ඇපිදු ඔවා දෙම්හ යි. එකල්හි ඒ මෙහෙණහු සවග මහණුන් වෙත එළැඹියහ. එළැඹැ සවග මහණුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්හු. එකල්හි සවග මහණහු මෙහෙණන් හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීන කථායෙන් දවස ගෙවා “යව නැගණියනි” යි නඟා යැවූහු.
3. එකල්හි ඒ භික්ෂුණීහු භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ සිටියාහු යැ. එකත්පසෙකැ සිටියා වූ ඒ භික්ෂුණීන්හට භාග්යවතුන් වහන්සේ තෙල වදාළසේක: කිමෙක් ද මෙහෙණනි, අවවාදය සමෘද්ධ වී දැ යි? වහන්ස, කිසෙයින් ඔවා සමෘද්ධ වන්නේ ද සවග වහන්දෑ මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීන කථායෙන් දවස ගෙවා නඟා යැවූහු යයි.
4. එකල්හි භාග්යවතුන් වහන්සේ දැහැමි කථායෙන් එ මෙහෙණන්හට මොනොවට කරුණු දැක්වූසේක. මොනොවට කරුණු ගැන්වූ සේක. මොනොවට තෙද ගැන්වූසේක. මොනොවට සතුටු කරවූසේක. එකල්හි ඒ මෙහෙණහු භාග්යවතුන් විසින් දැහැමි කථායෙන් මොනොවට කරුණු දක්වන ලද්දාහු මොනොවට කරුණු ගන්වන ලද්දාහු මොනොවට තෙද ගන්වන ලද්දාහු මොනොවට සතුටු කරවන ලද්දාහු භාග්යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්මැ ගියහ.
5. එකල්හි භාග්යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ ප්රකරණයෙහි ලා බික්සඟන රැස් කරවා සවග මහණුන් පුළුවුත්සේක: සැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණන්හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීන කථායෙන් දවස ගෙවා නඟා යවහු දැ යි.
සැබැව භාග්යවතුන් වහන්ස,
භාග්යවත් බුදුහු ගැරහූහ …
කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණන්හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීන කථායෙන් දවස ගෙවා නඟා යැවූහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි … ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, භික්ඛුනෝවාදක සම්මුතිය කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසෙයින් සම්මත කටයුතු: පළමු වැ මහණ අයැදියැ යුතු. අයැදැ ව්යක්ත වූ ප්රතිබල වූ භික්ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
6. “වහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. ඉදින් සඞ්ඝයාහට පැමිණිකල් ඇතියේ නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහු භික්ඛුනෝවාදක කොට සම්මත කරන්නේ යැ තෙල ඥප්ති යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා, සඞ්ඝ තෙමේ මෙනම් මහණහු භික්ඛුනෝවාදක කොට සම්මත කරයි. මෙනම් මහණහට භික්ඛුනෝවාදක සම්මුතිය යම් ආයුෂ්මත් කෙනකුන් රුස්නේ නම් හෙ නිහඬ වන්නේ යැ. යමක්හට නො රුස්නේ නම් හෙ කියන්නේ යැ. දෙවනවට ද තෙල කරුණ කියමි. … තෙවනවට ද තෙල කරුණ කියමි.
වහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා, සඞ්ඝ තෙමේ මෙනම් මහණහු භික්ඛුනෝවාදක කොට සම්මත කරයි. මෙනම් මහණහට භික්ඛුනෝවාදක සම්මුතිය යම් ආයුෂ්මත් කෙනකුන් රුස්නේ නම් හෙ නිහඬ වන්නේ යැ. යමක්හට නො රුස්නේ නම් හෙ කියන්නේ යි.
සඞ්ඝයා විසින් මෙනම් මහණ භික්ඛුනෝවාදකයෙකැ යි සම්මත කරන ලද්දේ යැ. සඞ්ඝයාහට රුස්නේ යැ. එහෙයින් තුෂ්ණිම්භාවය වේ. මෙසේ මෙය දරමි” යි.
7. එකල්හි භාග්යවතුන් වහන්සේ සවග මහණුන්හට නොයෙක් කරුණෙන් ගරහා දුභරතායෙහි … තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් අසම්මත වූයේ මෙහෙණන්හට ඔවා දෙන්නේ නම් පචිති වේ” යයි.
මෙසේ භාග්යවතුන් විසින් මේ සිකපදය භික්ෂූන්හට පණවන ලද්දේ වෙයි.