6. 3. 8.
නාවාභිරූහන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් නැවකට නැඟෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: යම්සේ මැ ඇපි අඹුන් සහිත වූවමෝ නැවෙහි කෙළිමු ද එසේ මැ මේ සෑසිපුත් මහණහු මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් නැවෙහි කෙළිති යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු මෙහෙණන් සමඟ කථාකොට ගෙන එක් නැවකට නැගී ගියාහු දැ යි ...
සැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණන් සමඟ කථා කොටගෙන එක් නැවකට නැගී ගියාහු දැ යි.
සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණන් සමඟ බැණ ගෙන එක් නැවකට නැගී ගියාහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මෙහෙණක හා සමඟ බැණ ගෙන උඩුගං බලා යන්නා වූ හෝ යටිගං බලා යන්නා වූ හෝ එක් නැවකට නැඟ යන්නේ නම් පචිති වේ” යයි.
තවද භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මෙසේත් මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු ද භික්‍ෂුණීහු ද සාකේතයෙන් සැවතට යන අදන් මගට පිළිපන්නාහු වෙති. අතරැ මගැ තරණය කළයුතු ගඟෙක් වෙයි. එකල්හි ඒ භික්‍ෂුණීහු ඒ භික්‍ෂූන්ට මෙය කීහු: “ඇපිදු ආර්‍ය්‍යයන් සමඟ එතරවම්හ” යි. නැඟණියනි, මෙහෙණක හා සමග නියම කොටගෙන එක් නැවක නැඟැ යන්නට නො කැප යැ. තෙපි හෝ පෙරාතු වැ එතර වවු. ඇපි හෝ එතර වම්හ යි. වහන්ස, ආර්‍ය්‍යයෝ අග්‍රපුරුෂයෝ යැ ආර්‍ය්‍යයෝ මැ පෙරාතු වැ එතර වෙත්වා යි.
4. එකල්හි පසුවැ එතරවන්නා වූ ඒ මෙහෙණන්ට අනදර කොට සොරු (පා සිවුරු) ඇසිඳ ගත්හ. දූෂණ ද කළහ. එකල්හි ඒ මෙහෙණහු සැවැතට ගොස් මෙහෙණන්ට තෙල කරුණ දැන්වූහ. මෙහෙණහු මහණුන්හට තෙල කරුණ දැන්වූහ. මහණහු භාග්‍යවතුන්ට තෙල කරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, සරසින් එතරවනු පිණිස මෙහෙණක හා සමඟ බැණ ගෙන එක් නැවක නැඟ යන්නට අනුදනිමි” මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් මෙහෙණක හා සමඟ බැණගෙන උඩුගං බලා යන්නා වූ හෝ යටිගං බලා යන්නා වූ හෝ එක් නැවකට සරසින් එතරවීමක් හැර නඟින්නේ නම් පචිති වේ” යයි.