6. 3. 6.
චීවරසිබ්බන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙරණුවෝ සිවුරුකම් කිරීමට සමත් වෙති. එක්තරා මෙහෙණක් ආයුෂ්මත් උදායී තෙරුන් වෙත එළඹියා යැ. එළැඹැ ආයුෂ්මත් උදායී තෙරුන්හට තෙල කිවු යැ. වහන්ස, ආර්‍ය්‍යන් වහන්සේ මට සිවුරක් මසන්නාහු මැනැවැ යි. එකල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ එමෙහෙණහට සිවුරක් මසා මොනවට රජන් කොට මොනවට පිරියම් කොට මැද ප්‍රතිභානචිත්‍රයක් නංවා හකුළවා තැබූහ.
2. එකල්හි එමෙහෙණ ආයුෂ්මත් උදායී තෙරුන් වෙත එළැඹියා යැ. එළැඹැ ආයුෂ්මත් උදායී තෙරුන්හට තෙල කිවු ය. වහන්ස, ඒ සිවුරු කරන ලද දැ යි. “නැඟණිය, මේ සිවුර හැකුළූ වන මැ ගෙන ගොස් මෙහෙණසඟ යම් දිනෙකැ අවවාදයට යේ නම් එදින මේ සිවුර පෙරෙව මෙහෙණ සඟහු පිටුපසින් එව” යි.
3. එකල්හි ඒ මෙහෙණ ඒ සිවුර හැකුළූ වන මැ ගෙන ගොස් බහා තබා යම් දිනෙකැ මෙහෙණ සඟ අවවාදයට යේ නම් එදින ඒ සිවුර පෙරෙව මෙහෙණසඟහු පිටුපසින් පිටුපසින් යෙයි. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: මේ මෙහෙණහු සුන්ඔතප් ඇතියහ, ධූර්‍තයහ, විළි නැතියහ. යම්බඳු සිවුරෙක්හි ප්‍රතිභාන චිත්‍රයක් නංවාලූහු දැ යි. මෙහෙණහු මේ කවරක්හුගේ කර්‍මයෙක් දැ යි මෙසේ කීහු. ආර්‍ය්‍ය උදායීහුගේ යි. යම්බඳු කෙනෙක් සුන්ඔතප් ඇතියාහු ධූර්‍ත වූවාහු විළි නැතියාහු වෙද්ද ඔවුනට ද මෙබන්දක් නො හොබනේ යැ. ආර්‍ය්‍ය උදායීතෙරුන්හට කිම හොබනේ දැ යි.
4. එකල්හි ඒ භික්‍ෂුණීහු මහණුන්හට තෙල කරුණ දැන්වූහ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් උදායී මෙහෙණකට සිවුරක් හිවී දැ යි …
සැබෑ ද උදායි, තෝ මෙහෙණකට සිවුරක් හිවියෙහි දැ යි.
සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
උදායි, (ඒ මෙහෙණ) තාගේ නෑ වූවා ද නො නෑ වූවා දැ යි.
භාග්‍යවතුන් වහන්ස, නොනෑ වූවා යැ.
හිස් පුරුෂය, නොනෑයෙක් නොනෑ මෙහෙණකට සුදුසු දැය හෝ නුසුදුසු දැය හෝ මනාපය හෝ අමනාපය හෝ නොදනී. හිස් පුරුෂය, කෙසේ නම් තෝ නොනෑ මෙහෙණකට සිවුරක් මැසූයෙහි දැ යි. හිස් පුරුෂය මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් නො නෑ මෙහෙණකට සිවුරක් මසන්නේ නම් හෝ මස්වන්නේ නම් හෝ පචිති වේ” යයි.
5. යො පන යනු: යම්, යම්බඳු … භික්ඛූ … මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
අඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්වන කුලපරවිටිය දක්වා නො සබඳ වූවා.
භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා සිවුරෙකි.
සිබ්බෙය්‍ය: තෙමේ මසා නම් හිදි මගක් පාසා පචිති ඇවැත් වේ.
සිබ්බාපෙය්‍ය: අනෙකක්හු අණවා නම් පචිති ඇවැත් වේ. වරක් අණවන ලදුයේ බොහෝවරකුදු මසා නම් පචිති ඇවැත් වේ.
නොනෑ මෙහෙණක කෙරෙහි නොනෑ සන් ඇතියේ සිවුරක් හිවා නම් හෝ හිවවා නම් හෝ පචිති ඇවැත් වෙයි. නොනෑ මෙහෙණක කෙරෙහි විමති ඇතියේ සිවුරක් හිවා නම් හෝ හිවවා නම් හෝ පචිති ඇවැත් වෙයි. නොනෑ මෙහෙණක කෙරෙහි නෑමෙහෙණකැ යි සන් ඇතියේ සිවුරක් හිවා නම් හෝ හිවවා නම් හෝ පචිති ඇවැත් වේ.
මෙහෙණ සඟුන් කෙරෙහි උපසපන් වූවකට සිවුරක් මසා නම් හෝ මස්වා නම් හෝ දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණක කෙරෙහි නොනෑ සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණක කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණක කෙරෙහි නෑමෙහෙණකැ යි සන් ඇතියේ නම් ඇවැත් නැති.
නෑමෙහෙණකට සිවුරක් හැර අන් පිරිකරක් හිවා නම් හෝ හිවවා නම් හෝ, ඇවැත් නැත. සික්මනුවට, හෙරැණියට, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සවැනි චීවරසිබ්බනශික්‍ෂාපදය යි.