6. 3. 5.
චීවරදාන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි එක්තරා මහණෙක් සැවැතෙහි එක්තරා වීථියෙකැ පිඬු පිණිස හැසිරෙයි. එක්තරා මෙහෙණක් ද ඒ වීථියෙහි පිඬු පිණිස හැසිරෙයි. එකල්හි ඒ මහණ එමෙහෙණහට තෙල කීය: “යා නැඟණිය, අසුවල් තෙනැ භික්‍ෂාව දෙනු ලැබේ” යයි. ඕ ද මෙසේ කිවු: “යා ආර්‍ය්‍යයෙනි, අසුවල් තෙනැ භික්‍ෂාව දෙනු ලැබේ” යයි. ඔහු නිරතුරු දැක්මෙන් දුටුමිතුරු වූහ.
2. එසමයෙහි වනාහි සඞ්ඝයාගේ සිවුරු බෙදනු ලැබෙයි. එකල්හි එමෙහෙණ අවවාදයට ගොස් එමහණ වෙත එළැඹියා ය. එළැඹැ සකසා වැඳ එකත්පසෙකැ සිටියා ය. එකත්පසෙකැ සිටි එමෙහෙණහට එමහණ තෙල කීය: ‘නැඟණිය, මේ මගේ සිවුරු කොටස යැ. (එය) ඉවසන්නෙහි දැ යි. එසේ යැ ආර්‍ය්‍යයෙනි, දුබල සිවුරු ඇත්තියකිම් වෙමි යි. එකල්හි එමහණ එමෙහෙණහට සිවුර දුන්නේ ය. එමහණ තෙමේත් දුබල සිවුරු ඇතියේ වෙයි. භික්‍ෂූහු එමහණහට තෙල කීහු: “ඇවැත්නි, තොපගේ සිවුර දැන් කරව” යි. එකල්හි ඒ මහණ තෙල කරුණ භික්‍ෂූන්හට දැන්වී ය.
3. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මහණෙක් මෙහෙණකට සිවුරක් දෙන්නේ දැ යි …
සැබෑ ද මහණ තෝ මෙහෙණකට සිවුරක් දුන්නෙහි දැ? යි.
සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
මහණ (ඒ මෙහෙණ) තාගේ නෑ වූවා ද? නො නෑ වූවා දැ? යි.
භාග්‍යවතුන් වහන්ස, නො නෑ වූවා යැ.
හිස් පුරුෂය, නො නෑයෙක් නො නෑයක ගේ සුදුසු දැය හෝ නුසුදුසු දැය හෝ ඇති දැය හෝ නැති දැය හෝ නො දනී. කෙසේ නම් හිස්පුරුෂය, තෝ නොනෑ මෙහෙණකට සිවුරක් දුන්නෙහි ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් නොනෑ මෙහෙණකට සිවුරක් දෙන්නේ නම් පචිති වේ” යයි.
භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය මෙසේ පනවන ලද්දේ වෙයි.
4. එසමයෙහි වනාහි භික්‍ෂූහු කුකුස්කරන්නාහු මෙහෙණන්හට පිරුළු කොට සිවුරු නො දෙති. මෙහෙණහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආර්‍ය්‍යයෝ අපට පිරුළු කොට සිවුරු නොදෙන්නාහු දැ යි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මෙහෙණන්ගේ (අකීර්ත්තිශබ්දය) ඇසූහු. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා වදාරා මහණුන් ඇමතූසේක: “මහණෙනි, මහණහට මෙහෙණහට හික්මනුවහට හෙරණකුහට හෙරණකහට යන පස් දෙනහට පිරුළු කොට දෙන්නට අනුදනිමි. මහණෙනි, මේ පස්දෙනහට පිරුළු කොට දෙන්නට අනුදනිමි” තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් නොනෑ මෙහෙණකට පිරුළු හැර සිවුරු දෙන්නේ නම් පචිති වේ” යයි.
5. යො පන: යම්, යම්බඳු … භික්ඛු … මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
අඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්වන කුලපරවිටිය දක්වා නො සබඳ වූවා.
භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් විකල්පනයට සුදුසු එක්තරා පැසුළු සිවුරෙකි.
අඤ්ඤත්‍ර පාරිවට්ටකා: පිරුළු හැර දේ නම් පචිති ඇවැත් වේ.
නොනෑ මෙහෙණකට නොනෑ මෙහෙණක යන සන් ඇතියේ පිරුළු හැර සිවුරු දේ නම් පචිති ඇවැත් වේ. නොනෑ මෙහෙණකට විමති ඇතියේ පිරුළු හැර සිවුරු දේ නම් පචිති ඇවැත් වේ. නොනෑ මෙහෙණකට නෑමෙහෙණකැ යි සන් ඇතියේ පිරුළු හැර සිවුරු දේ නම් පචිති ඇවැත් වේ.
මෙහෙණ සඟුන් කෙරෙහි උපසපන් වූවකට පිරුළු හැර සිවුරු දේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණකට නොනෑ සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණකට විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නෑමෙහෙණකට නෑමෙහෙණකැ යි සන් ඇතියේ නම් ඇවැත් නැති.
නෑමෙහෙණකට, මඳ අගය ඇතියෙකින් මහ ඇඟි පිරුළුවක් හෝ මහ ඇඟියෙකින් මඳ අගය ඇති පිරුළුවක් හෝ මෙහෙණක් විස්වස් වැ ගනී නම්, තවුකැලි වැ ගනී නම්, සිවුරු තබා අන් පිරිකරක් දේ නම්, සික්මනුවහට, හෙරණිහට දේ නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
පස් වැනි චීවරදානශික්‍ෂාපදය යි.