6. 3. 4.
ආමිස ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩැවෙසෙති. එකල්හි ස්ථවිරභික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙන්නාහු සිවුරු – පිඬුවා – සෙනසුන් – ගිලන්පසබෙහෙත් පිරිකර ලබන්නාහු වෙති. සවග මහණහු මෙසේ කියති: ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන් හට කළ දහම් බුහුමන් ඇති වැ ඔවා නො දෙති. ආමිසහේතුයෙන් ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙති යි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට කළ දහම් බුහුමන් ඇති වැ ඔවා නො දෙති යි, ආමිසහේතුයෙන් ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙති යි මෙසේ කියත් දැ යි …
සැබෑ ද මහණෙනි, තෙපි ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට කළ දහම් බුහුමන් ඇති වැ ඔවා නො දෙති, ආමිසහේතුයෙන් ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙති යි මෙසේ කියවු ද?
සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට කළ දහම් බුහුමන් ඇති වැ ඔවා නො දෙති, ආමිසහේතුයෙන් ස්ථවිර භික්‍ෂූහු මෙහෙණන්හට ඔවා දෙති යි මෙසේ කියන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් ආමිසයක් හේතු කොට ගෙන භික්‍ෂූහු මෙහෙණන් හට ඔවා දෙති යි මෙසේ කියන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම් බඳු … භික්ඛු … මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
ආමිසහේතු: චීවර හේතුයෙන් පිණ්ඩපාත හේතුයෙන් ශයනාසනය හේතුයෙන් ග්ලානප්‍රත්‍යයභෙෂජ්‍යපරිෂ්කාර හේතුයෙන් සත්කාර හේතුයෙන් ගරුකාරහේතුයෙන් මානනහේතුයෙන් වන්‍දන හේතුයෙන් පූජනහේතුයෙන්.
ඒවං වදෙය්‍ය: යනු සඞ්ඝයා විසින් සම්මත වූ මෙහෙණ ඔවා දෙන උපසපනක්හුහට ගරහනු කැමැත්තේ අයස දනවනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: චීවරහේතුයෙන් පිණ්ඩපාතහේතුයෙන් ශයනාසනහේතුයෙන් ග්ලානප්‍රත්‍යය භේෂජ්‍යපරිෂ්කාරහේතුයෙන් සත්කාරහේතුයෙන් ගරුකාරහේතුයෙන් මානනහේතුයෙන් වන්‍දන හේතුයෙන් පූජනහේතුයෙන් ඔවා දේ යැ යි බෙණේ නම් පචිති ඇවැත් වේ.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වේ.
සඞ්ඝයා විසින් අසම්මත වූ භික්ඛුනෝවාදක උපසපනක්හට ගරහනු කැමැත්තේ අයස දනවනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි. චීවරහේතුයෙන් … පූජනහේතුයෙන් ඔවා දේ යයි බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
සඞ්ඝයා විසින් සම්මත වූ හෝ අසම්මත වූ හෝ භික්ඛුනෝවාදක අනුපසපනක්හට ගරහනු කැමැත්තේ අයස දනවනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: චීවරහේතුයෙන් පිණ්ඩපාතහේතුයෙන් ශයනාසනයහේතුයෙන් ග්ලානප්‍රත්‍යයභෙෂජ්‍යපරිෂ්කාරහේතුයෙන් සත්කාරහේතුයෙන් ගරුකාරහේතුයෙන් මානනහේතුයෙන් වන්‍දනහේතුයෙන් පූජනහේතුයෙන් ඔවා දේ ය යි බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ නම් ඇවැත් නැති.
චීවරහේතුයෙන් පිණ්ඩපාතහේතුයෙන් ශයනාසනයහේතුයෙන් ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරහේතුයෙන් සත්කාරහේතුයෙන් ගරුකාරහේතුයෙන් මානනහේතුයෙන් වන්‍දනහේතුයෙන් පූජනහේතුයෙන් ප්‍රකෘති විසින් ඔවා දෙන්නක් හට බෙණේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සිවුවැනි ආමිසශික්‍ෂාපදය යි.