6. 3. 3.
භික්ඛුනූපස්සය ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු ශාක්යජනපදයෙහි කිඹුල්වත් නුවරැ නිග්රෝධාරාමයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු මෙහෙණවරට එළැඹැ සවග මෙහෙණන්හට ඔවා දෙති. භික්ෂුණීහු සවග මෙහෙණන්හට තෙල කීහු: ආර්ය්යාවෙනි, එවු අවවාදයට යම්හ යි.
ආර්ය්යාවෙනි, යම් තෙනකට ඔවා කරුණෙන් ඇපි යන්නෙමු ද සවග මහණහු මෙහි ම අපට ඔවා දෙති යි කිවු ය.
භික්ෂුණීහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මෙහෙණහු අවවාදයට නො යන්නාහු දැ’ යි.
2. එකල්හි ඒ මෙහෙණහු මහණුන්හට තෙල කරුණ දැන්වූහ. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට ඔවා දුන්නු දැ යි …
සැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට ඔවා දෙවු දැ යි.
සැබැවැ භාග්යවතුන් වහන්ස.
භාග්යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට ඔවා දුන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. … මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට ඔවා දෙන්නේ නම් පචිති වේ” යයි.
භාග්යවතුන් විසින් භික්ෂූන්හට මේ සිකපදය මෙසේ පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි වනාහි මහාප්රජාපතී ගෞතමී ගිලන් වූවා වෙයි. ස්ථවිරභික්ෂූහු මහාප්රජාපතී ගෞතමිය වෙත එළැඹියාහු ය. එළැඹැ “කිම ගෞතමිය, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි” දැ යි තෙල කීහු.
ආර්ය්යවරුනි, මට ඉවසිය නො හැකි යැ. යැපිය නො හැකි යි, ආර්ය්යවරු දහම් දෙසන්නාහු නම් මැනැවැ යි කිවු ය.
“නැඟණියනි, මෙහෙණවරට එළැඹැ මෙහෙණන්හට දහම් දෙසන්නට නො කැපැ යි” කුකුස් කරනුවෝ (දහම්) නො දෙසූහු.
4. ඉක්බිති භාග්යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන මහාප්රජාපතී ගෞතමිය වෙත එළැඹැ පැනවූ අස්නෙහි වැඩහුන්සේක. වැඩ හිඳ භාග්යවතුන් වහන්සේ කිම ගෞතමිය, තොපට ඉවසිය හැකි ද? යැපිය හැකි දැ යි තෙල වදාළසේක.
ස්වාමීනි, පෙරැ ස්ථවිරභික්ෂූහු අවුත් මට දහම් දෙසති. එයින් මට පහසු වෙයි. දැන් වූ කලි භාග්යවතුන් වහන්සේ විසින් ප්රතික්ෂිප්ත යැ යි කුකුස් කරනුවෝ නො දෙසත්. එයින් මට පහසු නො වේ යැ යි කිවු ය.
5. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මහාප්රජාපතී ගෞතමියට දැහැමි කථායෙන් මොනවට කරුණු දක්වා මොනවට කරුණු ගන්වා මොනවට තෙද ගන්වා මොනවට සතුටු කරවා හුනස්නෙන් නැඟිට වැඩිසේක. එකල්හි භාග්යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. “මහණෙනි, මෙහෙණවරට එළැඹැ ගිලන් මෙහෙණට ඔවා දෙන්නට අනුදනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් සුදුසු සමය තබා මෙහෙණවරට එළැඹැ මෙහෙණන් හට ඔවා දෙන්නේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි. මෙහෙණක් ගිලන් වූවා වේ නම් මේ එහි සුදුසු සමය යි.”