6. 3. 2.
අත්‍ථඞ්ගත ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි ස්ථවිර භික්‍ෂූහු පිළිවෙළින් මෙහෙණන්හට ඔවා දෙති. එසමයෙහි මෙහෙණන්හට ඔවා දෙන්නට ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන්ගේ වාරය වෙයි. භික්‍ෂුණීහු මෙසේ කීහු: “අද නම් අවවාදය සමෘද්ධ නො වන්නේ යැ. ආර්‍ය්‍ය චුල්ලපන්‍ථක තෙරණුවෝ ඒ උදානය මැ දැනුදු පුනපුනා කියන්නාහ” යි.
2. එකල්හි ඒ භික්‍ෂුණීහු ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්හු. එකත්පසෙකැ හුන්නා වූ ඒ මෙහෙණන්හට ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුණුවෝ තෙල කීහ:
නැඟණියනි, (තෙපි) හැම දෙන මැ මෙහි අවු දැ යි.
ආර්‍ය්‍යයන් වහන්ස, හැම දෙනමෝ මෙහි ආම්හ යි.
නැඟණියනි, අෂ්ටගරුධර්‍මයෝ (තොප කෙරෙහි) පවතිත් දැ යි.
ආර්‍ය්‍යයන් වහන්ස, (අප කෙරෙහි) පවතිත් යයි.
නැඟණියනි, “තෙල අවවාද ය” යි පවසා මේ උදානය පුන පුනා කීහ:
‘රාත්පලසිතින් යුතු නො පමා වූ මෝනසංඛ්‍යාතඥානයෙන් හික්මුණු තාදී වූ (රාගාදි ව්‍යපශමයෙන්) උපශාන්ත වූ ස්මෘතිමත් වූ ක්‍ෂීණාශ්‍රව මුනිහට ශෝකයෝ හැම කල්හි නො වන්නාහ” යි.
3. මෙහෙණහු මෙසේ කීහු: “අද නම් අවවාදය සමෘද්ධ නො වන්නේ යැ. දැන් ඒ උදානය මැ ආර්‍ය්‍ය චුල්ලපන්‍ථක තෙරුණුවෝ පුන පුනා බෙණෙතැ යි (ඇපි) නො කීවමෝ ද?” ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුණුවෝ ඒ මෙහෙණන්ගේ මේ කථා සල්ලාපය ඇසූහ. එකල්හි ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුණුවෝ අහසට පැන අන්තරීක්‍ෂාවකාශයෙහි සක්මන් ද කෙරෙති, සිටීම ද කෙරෙති, හිඳීම ද කෙරෙති, ශයනය ද කෙරෙති, දුමාලීම ද කෙරෙති, දිලිහීම ද කෙරෙති, අදර්‍ශනයට ද යෙති. එම උදානයත් සෙසු බොහෝ බුද්ධවචනත් බෙණෙත්.
මෙහෙණහු මෙසේ කීහු: “භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍ය ය. භවත්නි, ඒකාන්තයෙන් අද්භූත යි. ආර්‍ය්‍ය චුල්ලපන්‍ථක තෙරුණුවන්ගේ මෙන් මෙබඳු අවවාදයෙක් අපහට මෙයින් පෙරැ නොවී යැ මෙබඳු සමෘද්ධියක් නො වූ විරී යැ යි.
4. එකල්හි ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුණුවෝ ඒ මෙහෙණන් අඳුරු වැටෙන තාක් ඔවා දී ‘යවු නැඟණියනැ’ යි නඟා යැවූහ. එකල්හි ඒ මෙහෙණහු නුවරැ දොර වැසූ කල්හි බිහිනුවරැ වැස උදෑසන මැ නුවරට පිවිසෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “මේ මෙහෙණහු අබ්‍රහ්මචාරිණීහ, අරම්හි මහණුන් හා සමඟ වැස දැන් නුවරට පිවිසෙත්” යයි.
5. ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) භික්‍ෂූහු ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් චුල්ලපන්‍ථකයෝ හිරු අත්ගල (බැස) ගියකල්හි මෙහෙණන්හට ඔවා දෙත් දැ යි … සැබෑද චුල්ලපන්‍ථක, තෙපි හිරු බැස ගිය කල්හි මෙහෙණන්හට ඔවා දෙවු දැ යි.
සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් චුල්ලපන්‍ථක, තෙපි හිරු අවරටගිය කල්හි මෙහෙණන්හට ඔවා දෙවු ද? චුල්ලපන්‍ථක, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ මහණෙනි, මේ සික පදය උදෙසවු:
“ඉදින් සම්මත වූ ද මහණ හිරු අස්තයට ගිය කල්හි මෙහෙණන්හට ඔවා දෙන්නේ නම් පචිති වේ” යයි.
6. සම්මත නම්: ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් සම්මත යැ.
අත්‍ථඞ්ගතෙ සුරියෙ: හිරු බට කල්හි.
භික්ඛුනී නම්: දෙ සඟුන් කෙරෙහි උපසපන් වූවා.
ඕවදෙය්‍ය: ගරුදම් අටින් හෝ අන් දහමෙකින් හෝ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.