6. 2. 9.
මහල්ලක විහාර ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්නයන්ගේ උපස්ථායක වූ මහාමාත්‍රයෙක් ආයුෂ්මත් ඡන්නහට වෙහෙරක් කරවයි. එකල්හි ආයුෂ්මත් ඡන්න කළ නිමාම් ඇති වෙහෙර පුන පුනා සෙවෙනි කරැවී. පුන පුනා අලෙව් දෙවී. ඉතා බර වූ වෙහෙර ඇද වැටිණ. එකල්හි ඡන්න තෙමේ තණ ද දර ද ඇද රැස් කරනුයේ එක්තරා බමුණක්හුගේ යව කෙත වැනසී ය. එකල්හි ඒ බමුණු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: කෙසේ නම් පින්වත්හු අපගේ යව කෙත වැනැසූ දැ යි භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරු වන ඒ බමුණක්හුගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් ඡන්න කළ නිමාම් ඇති වෙහෙර පුනපුනා සෙවෙනි කරැවී ද? පුනපුනා ලෙපනය කරැවී ද? ඉතා බර වූ වෙහෙර ඇද වැටිණැ යි … සැබෑ ද? ඡන්න, තෝ කළ නිමාම් ඇති වෙහෙර පුනපුනා සෙවෙනි කරවූයෙහි ද? පුනපුනා ලෙපනය කරවූයෙහි ද? ඉතා බර වූ වෙහෙර ඇද වැටිණැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂය, තෝ කළ නිමාම් ඇති වෙහෙරක් පුනපුනා සෙවෙනි කරවූයෙහි ද? පුනපුනා ලෙපනය කරවූයෙහි ද? ඉතා බර වූ වෙහෙර ඇද වැටිණ. හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය ට හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“මහත් වෙහෙරක් කරවන මහණහු විසින් ද්වාරකෝසය දක්වා අගුළු තරවන පිණිස ද, වාකවුළු පිරියම් පිණිස ද (පුනපුනා ලිම්පනය කළ යුතු යි) සෙවින්න පිළිබඳ දෙතුන් පරික්‍ෂේපයක් තෘණ නැති තන්හි සිටියහු විසින් විධාන කළ යුතු යැ. ඉදින් ඒ දෙතුන් පරික්‍ෂේපයකින් මත්තෙහි තෘණ නැති තන්හිදු සිටියේ විධාන කරන්නේ නම් පචිති වේ” යයි.
3. මහල්ලක නම්: (කරවා දෙන) හිමියකු ඇති ‘වෙහෙරැ’යි කියනු ලැබේ. විහාර නම්: ඇතුළතැ අලෙව් දුන්නේ හෝ බැහැරැ අලෙව් දුන්නේ හෝ ඇතුළතැ බැහැරැ අලෙව් දුන්නේ හෝ වෙයි.
කාරයමානෙන: කරන්නේ හෝ කරවන්නේ හෝ යි.
යාවද්වාරකෝසා: දොරබා අවට අත්පස තෙක්
අග්ගලට්ඨපනාය: දොරගුළු තහවුරු වැ පැවැත්ම පිණිස.
ආලෝකසන්‍ධිපරිකම්මාය: වාකවුළුහි පිරියම් පිණිස, ශ්වේතවර්‍ණ යැ කාලවර්‍ණ යැ ගෛරික පරිකර්‍ම යැ මාලාකර්‍ම යැ ලතාකර්‍ම යැ මකරදන්තක යැ පඤ්චපටික යැ (කරන්නට වටී).
ද්වත්තිච්ඡදනස්ස පරියායං අප්පහරිතේ ඨිතෙන අධිට්ඨාතබ්බං: මෙහි හරිත නම්: පූර්‍වාන්න යැ අපරාන්න යි. ඉදින් හරිතයෙහි (තණබිම්හි) සිටියේ විධාන කෙරේ නම් දුකුළා ඇවැත් වේ. ඍජු මාර්‍ගයෙන් සොයන්නහුට (සෙවිලි කරන්නහුට) දෙමගක් විධාන කොට තෙවන මග අණවා බැහැර යා යුතු යි. පරික්‍ෂේපයෙන් සොයන්නහුට දෙ පරියායක් විධාන කොට තෙවන පරියාය අණවා බැහැර යා යුතු යි.