6. 2. 10.
සප්පාණක ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු අළවු නුවරැ අග්ගාලව චෛත්‍යයෙහි වැඩවෙසෙති. එසමයෙහි අළවු නුවරැ වැසි භික්‍ෂූහු නවාම් කරනුවෝ දැන දැන පණුවන් සහිත ජලය තණකොළ වලට ද මැටිවලට ද ඉසීම කෙරෙත් ඉස් වීම ද කරවත්.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් අළවු නුවරැ වැසි භික්‍ෂූහු දැන දැන පණුවන් සහිත ජලය තණකොළවලට ද මැටිවලට ද ඉසීම කළාහු ද? ඉසීම කැරැවූහු දැ යි. … සැබෑ ද? මහණෙනි, තෙපි දැන දැන පණුවන් සහිත ජලය තණකොළවලට ද මැටිවලට ද ඉසීම කරවු ද? ඉසීම කරවවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරැහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි තෙපි දැනැ දැනැ පණුවන් සහිත ජලය තණකොළවලට ද මැටිවලට ද ඉසීම කළහු ද? ඉසීම කැරවූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් දැනැ දැනැ පණුවන් සහිත ජලය තණකොළවලට හෝ මැටිවලට හෝ ඉසින්නේ නම් හෝ ඉස්වන්නේ නම් හෝ පචිති වේ” යයි.
3. යෝපන: යම්, යම් බඳු … භික්ඛු … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත්.
සිඤ්චෙය්‍ය: තෙමේ ඉසී නම් පචිති ඇවැත් වේ. සිඤ්චාපෙය්‍ය: අනෙකක්හට අණවා නම් පචිති ඇවැත් වේ. වරක් අණවන ලද්දේ බොහෝ කොට ද ඉසී නම් පචිති ඇවැත් වේ.
පණුවන් ඇති ජලයෙහි පණුවන් ඇති සන් ඇතියේ තණකොළ වලට ද මැටිවලට ද ඉසී නම් හෝ ඉස්වා නම් හෝ පචිති ඇවැත් වේ. පණුවන් ඇතියෙහි විමති ඇතියේ තණකොළවලට ද මැටිවලට ද ඉසී නම් හෝ ඉස්වා නම් හෝ දුකුළා ඇවැත් වේ. පණුවන් ඇතියෙහි පණුවන් නැති සන් ඇතියේ තණකොළවලට ද මැටිවලට ද ඉසී නම් හෝ ඉස්වා නම් හෝ ඇවැත් නැති.
පණුවන් නැතියෙහි පණුවන් ඇති සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පණුවන් නැතියෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පණුවන් නැතියෙහි පණුවන් නැති සන් ඇතියේ නම් ඇවැත් නැති.
නො සිතා කරන්නහුට ද නො සිහියෙන් කරන්නහුට ද නො දන්නහුට ද උම්මත්තකයහට ද ආදිකම්මිකයහට ද ඇවැත් නැති.
දසවැනි සප්පාණක ශික්‍ෂාපද යි.
ද්විතීය භූතගාම වර්‍ග යි.
එහි උදානය:
භූතගාම යැ අඤ්ඤවාදකය සමඟ උජ්ඣාපනක යැ බැහැරැ යන්නහු කරණකොට ගෙන පැනවූ ඒ පඨම–දුතිය සේනාසන දෙක යැ (පූර්‍වොපගත) අනුපඛජ්ජ යැ නික්කඩ්ඪන යැ (ආහච්චපාදක) වේහාසකුටි යැ (ද්වාරකෝස) මහල්ලකවිහාර යැ සප්පාණක යි.