6. 2. 7.
නික්කඩ්ඪන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සතළොස්වගැ මහණහු මෙහි ඇපි වස් වසන්නම්හ යි එක්තරා පිටිසර මහවෙහෙරක් පිළිසකර කෙරෙති. සවග මහණහු වෙහෙර පිළිසකර කරන සතළොස් වගැ මහණුන් දුටුහු, දැක මෙසේ කීහු: ඇවැත්නි, මේ සතළොස්වගැ මහණහු වෙහෙරක් පිළිසකර කෙරෙති. එකැතින් ඔවුන් නඟා යවම්හ යි. ඇතැම් කෙනෙක් මෙසේ කීහු: ඇවැත්නි, යම්තාක් පිළිසකර කෙරෙත් නම් ඒතාක් බලාපොරොත්තු වවු. පිළිසකර කළ කල්හි නඟා යවම්හ යි. එකල්හි සවගමහණහු සතළොස්වගැ මහණුන්හට මෙය කීහු: “ඇවැත්නි, නැගිටිවු වෙහෙර අපට පැමිණේ ය” යි ඇවැත්නි, කැල මැ කියයුතු නො වේ ද, එසේ වී නම් අපිදු අනෙකක් පිළිසකර කරන්නම්හ යි. ඇවැත්නි, සඟසතු වෙහෙරක් නො වේ ද? එසේ යැ ඇවැත්නි, සඟසතු වෙහෙරකි. නැගිටිවු ඇවැත්නි, වෙහෙර අපට පැමිණෙයි. ඇවැත්නි, වෙහෙර විශාල ය. තෙපි ද වසවු ඇපිදු වසම්හ. නැගිටිවු ඇවැත්නි, වෙහෙර අපට පැමිණේ යැ යි කිපියෝ නො සියමන් වූවෝ ග්රීවයෙන් ගෙන ඇද දමත්. ඔහු අදිනු ලබන්නෝ හඬති. භික්ෂූහු මෙසේ කීහු: කුමකට තෙපි ඇවැත්නි, හඬවු දැ යි. ඇවැත්නි, මේ සවග මහණහු කිපියෝ නො සියමන් වූවෝ අප සඟසතු වෙහෙරින් ඇද දමති.
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු කිපියෝ නො සියමන් වූවෝ මහණුන් සඟසතු වෙහෙරකින් ඇද දැමූහු දැ යි. … සැබෑ ද මහණෙනි, තෙපි කිපියෝ නො සියමන් වූවෝ මහණුන් සඟසතු වෙහෙරින් ඇද දමවු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි කිපියෝ නො සියමන් වූවෝ මහණුන් සඟසතු වෙහෙරකින් ඇද දැමූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් කිපියේ නොසියමන් වූයේ මහණක්හු සඟසතු වෙහෙරකින් ඇද දමන්නේ නම් හෝ ඇද දමවන්නේ නම් හෝ පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු … භික්ඛු … මෙතෙම මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි. භික්ඛුං: අන් මහණක්හු. කුපිතෝ අනත්තමනෝ: නො ඇලුණේ හැපුණු සිත් ඇතියේ හටගත් (පිළිඝු) හුල් ඇතියේ.
සඞ්ඝිකවිහාර නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්යක්තයෙක් වෙයි.
නික්කඩ්ඪෙය්ය: ගර්භයෙන් ගෙන අගුදොරට ඇද දමා නම් පචිති ඇවැත් වේ. අගුදොර ගෙන පිටතට ඇද දමා නම් පචිති ඇවැත් වේ. එක් පියොවකින් බොහෝ වූ ද දොරටු ඉක්මවා නම් පචිති ඇවැත් වේ. නික්කඩ්ඪාපෙය්ය: මෙරමා අණවා නම් දුකුළා ඇවැත් වේ. වරක් ඇණවුම් ලදුයේ බොහෝ වූ ද දොරටු ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
සඟසතුයෙහි සඟසතුසන් ඇතියේ කුපිත වැ නො සතුටු වැ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ කුපිත වැ නො සතුටු වැ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වේ. සඟසතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ කුපිත වැ නො සතුටු වැ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වේ.
ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වේ. වෙහෙරෙහි උවසරින් හෝ උවටැන්හලින් හෝ මඩුවෙකින් හෝ රුක්මුලෙකින් හෝ එළිමහනෙකින් හෝ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වේ. ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් දුකුළා ඇවැත් වේ.
අනුපසපනක්හු වෙහෙරින් හෝ වෙහෙරැ උවසරින් හෝ උවටැන් හලින් හෝ මඩුවෙකින් හෝ රුක්මුලකින් හෝ එළිමහනෙකින් හෝ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වේ. ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ දුකුළා ඇවැත් වේ.
පුඟුල්සතුයෙහි සඟසතුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අනෙකක්හුගේ පුඟුල්සතුයෙහි නම් දුකුළා ඇවැත් වේ. තමාගේ පුඟුල්සතුයෙහි නම් ඇවැත් නැති.
අලජ්ජියකු ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ උමතුවක්හු ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇදදමවා නම් හෝ ඩබර කරන්නක්හු … කළහ කරන්නක්හු … විවාද කරන්නක්හු … බහින් බස් වන්නක්හු … සඟහු කෙරෙහි අධිකරණ කරන්නක්හු ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ මැනැවින් නො පවත්නා වූ අතැවැස්සක්හු හෝ සද්ධි විහාරිකයක්හු හෝ ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ ඔහුගේ පිරිකර ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ (ඇවැත් නැති) උම්මත්තකයහට ද ආදිකම්මිකයහට ද ඇවැත් නැති.
සත්වැනි නික්කඩ්ඪනශික්ෂාපදය යි.