6. 2. 5.
දුතිය සේනාසන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි සතළොස්වගැ මහණහු යහළුවෝ වෙති. ඔහු වසන්නෝ ද එකට වෙසෙති. බැහැර යන්නෝ ද එකට බැහැරැ යෙත්. ඔහු එක්තරා සඟසතු වෙහෙරෙක්හි සෙනසුන් අතුරා බැහැර යන්නාහු එය නො මැ ගෝපන කළහ. නො ද ගෝපන කැරැවූහ. නොවිචාරා බැහැරැ ගියහ. සෙනසුන වේයන් විසින් කන ලද්දේ වෙයි.
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සතෙළෙ ස්වග මහණහු සඟසතු වෙහෙරෙහි සෙනසුන් අතුරා බැහැරැ යන්නාහු එය නො මැ තැන්පත් කළෝ ද, නොද තැන්පත් කරැවූවෝ ද, නො පිළිවිසැ ගියෝ ද, සෙනසුන වේයන් විසින් කන ලද්දේ යැ යි … සැබෑ ද මහණෙනි, සතළොස් වග මහණහු සඟසතු වෙහෙරෙහි සෙනසුන් අතුරා බැහැරැ යන්නාහු එය නො මැ තැන්පත් කළෝ ද, නොද තැන්පත් කරැවූවෝ ද, නො පිළිවිසැ ගියෝ ද, සෙනසුන වේයන් විසින් කන ලද්දේ දැ යි. සැබෑ වැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ඒ හිස්පුරුෂයෝ සඟසතු වෙහෙරෙහි සෙනසුන් අතුරා බැහැරැ යන්නාහු නො මැ තැන්පත් කළෝ ද, නොද තැන්පත් කැරැවූවෝ ද, නො පිළිවිසැ ගියෝ ද, සෙනසුන වේයන් විසින් කන ලද්දේ දැ යි. මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් සඟසතු වෙහෙරෙක්හි සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැර යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු … භික්ඛු: මෙතෙම මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
සඞ්ඝික නම්: විහාරය සඟනට දෙන ලද්දෙක් පරිත්යක්තයෙක් වෙයි.
සෙය්ය නම්: බිසි යැ චිලිමිකා යැ උතුරතුරුණු යැ බුමුතුරුණු යැ තට්ටිකා යැ සම්කඩ යැ නිසීදන යැ පසතුරුණු යැ තණඇතිරි යැ පත් ඇතිරි යි.
සන්ථරිත්වා: තෙමේ අතුරා. සන්ථරාපෙත්වා: අනෙකක්හු ලවා අතුරුවා.
තං පක්කමන්තෝ නේව උද්ධරෙය්ය: තෙමේ නො මැ තැන්පත් කරන්නේ නම්.
න උද්ධරෙය්ය: අනෙකක්හු ලවා නො තැන්පත් කරවන්නේ නම්.
අනාපුච්ඡං වා ගච්ඡෙය්ය: මහණක්හු හෝ හෙරණක්හු හෝ ආරාමිකයක්හු හෝ නො පිළිවිසැ පිරිකෙව් කරන ලද අරම්හි පිරිකෙව්ව ඉක්මවන්නාහට පචිති ඇවැත් වේ. නො පිරිකෙව් කරන ලද අරම්හි උවසර ඉක්මවන්නාහට පචිති ඇවැත් වේ.
සඟසතුයෙහි සඟසතුසන් ඇතියේ සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ නම් එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් හෝ නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි පුඟුල්සන් ඇතියේ සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැර යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ.
වෙහෙරැ උවසරෙහි හෝ උවටැන්හල්හි හෝ මඬුවෙහි හෝ රුක්මුලැ හෝ සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් දුකුළා ඇවැත් වේ. ඇඳක් හෝ පුටුවක් හෝ වෙහෙරෙහි හෝ වෙහෙරුවසරෙහි හෝ උවටැන්හල්හි හෝ මඬුවෙහි හෝ රුක්මුලැ හෝ අතුරා හෝ අතුරුවා හෝ බැහැර යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් දුකුළා ඇවැත් වේ.