6. 2. 4.
පඨමසේනාසන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි භික්‍ෂූහු හිමත් කල්හි එළිමහන්හි සෙනසුන් පනවා සිරිර තවන්නෝ කල් දැන්වූ කල්හි බැහැරැ යන්නාහු ඒ සෙනසුන් නොමැ ගෝපන කළහ, නොද ගෝපන කැරැවූහ, නොවිචාරා බැහැරැ ගියහ. සෙනසුන (හිමවැස්සෙන්) තෙත් වූයේ වෙයි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් භික්‍ෂූහු එළිමහන්හි සෙනසුන් පනවා බැහැර යන්නාහු එය නොම ගෝපන කළෝ ද නො ද ගෝපන කැරැවූවෝ ද, නොවිචාරා බැහැරැ ගියෝ ද සෙනසුන (හිම වැස්සෙන්) තෙමිණැ යි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ. … සැබෑද? මහණෙනි, භික්‍ෂූහු එළිමහනෙහි … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් සඟසතු ඇඳක් හෝ පුටුවක් හෝ බිස්සක් හෝ බඳවෙළුමක් හෝ එළිමහනෙහි අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නොමැ තැම්පත් කරන්නේ නම් හෝ නොද තැන්පත් කරවන්නේ නම් හෝ නොවිචාරා යන්නේ නම් හෝ පචිති වේ” යයි.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මේ සිකපදය ද භික්‍ෂූනට පනවන ලද්දේ වේ.
2. එසමයෙහි වනාහි භික්‍ෂූහු එළිමහනෙහි වැස කල්තබා මැ සෙනසුන ගෙන යති. භාග්‍යවතුන් වහන්සේ කල්තබා මැ සෙනසුන ගෙන යන ඒ භික්‍ෂූන් දුටු සේකැ. දැක මෙකරුණෙහි ලා මෙ ප්‍රකරණයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක: “මහණෙනි, හිමත් ගිමන් නොවසින ලකුණු ඇති අටමස්හි යම් තෙනෙකැ කවුඩුවෝ හෝ උකුස්සෝ හෝ මල පහ නො කෙරෙත් නම් එවන් මඩුවෙකැ හෝ රුප්පයෙකැ හෝ සෙනසුන බහා තබන්නට අනුදනිමි” යි.
3. යො පන: යම්, යම්බඳු … භික්ඛු … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
සඞ්ඝික නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්‍යාගයෙක් වෙයි.
මඤ්ච නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුලීරපාදක යැ ආහච්චපාදක යැ යි සිවු ඇඳෙකි.
පීඨ නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුලීරපාදක යැ ආහච්චපාදක යැ යි සිවු පුටුවෙකි.
භිසි නම්: උණ්ණාභිසි යැ චොලභිසි යැ වාකභිසි යැ තිණභිසි යැ පණ්ණභිසි යැ යි පස් බිස්සෙකි.
කොච්ඡ නම්: වැහැරිමුවා හෝ සුවඳහොටමුවා හෝ මුදු තණමුවා හෝ බබුස්තණමුවා හෝ ඇතුළතැ මොනවට වෙළා බඳනා ලද්දෙක් වෙයි.
සන්‍ථරිත්‍වා: තෙමේ අතුරා. සන්‍ථරාපෙත්‍වා: අනෙකක්හු ලවා අතුරුවා අනුපසපනක්හු ලවා අතුරුවා නම් ඔහුට පළිබෝධ වෙයි. උපසපනක්හු ලවා අතුරුවා නම් අතුරනලද්දහුට පළිබෝධ වෙයි.
තං පක්කමන්තෝ නේව උද්ධරෙය්‍ය: තෙමේ නො මැ ගෝපන කරන්නේ නම්. න උද්ධරාපෙය්‍ය: අනෙකක්හු ලවා නො ද ගෝපන කරවන්නේ නම්. අනාපුච්ඡං වා ගච්ඡෙය්‍ය: මහණක්හු හෝ හෙරණක්හු හෝ ආරාමිකයක්හු හෝ නො විචාරා මැදුම් පිරිම්නියක්හු කැටක් දමා ලන තන් ඉක්මවන්නාහට පචිති ඇවැත් වේ.
4. සඟසතුයෙහි සඟසතුසන් ඇතියේ එළිමහනෙහි අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නො මැ ගෝපන කරන්නේ නම් නො ද ගෝපන කරවන්නේ නම් නො විචාරා හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ … සඟසතුයෙහි පුඟුල්සන් ඇතියේ එළිමහනෙහි අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නො මැ ගෝපන කරන්නේ නම් නො ද ගෝපන කරවන්නේ නම් නො විචාරා හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ.