6. 2. 3.
උජ්ඣාපන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු රජගහ නුවරැ කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් දබ්බමල්ලපුත්ර තෙරණුවෝ සඞ්ඝයාට සෙනසුන් ද පනවති. බත් උදෙසීම ද කරති. එකල්හි මෙත්තිය භුම්මජක භික්ෂූහු නවක ද මඳපිනැති ද වෙති. සඞ්ඝයාගේ යම්බඳු ලමුසෙනසුන් වෙත් නම් ඒ සෙනසුන් ද ලමුබත් ද ඔවුනට පැමිණෙත්. එව්හු ආයුෂ්මත් දබ්බමල්ල පුත්ර තෙරණුවනට ‘ඡන්දාගතියෙන් දබ්බමල්ල පුත්ර තෙරණුවෝ සෙනසුන් පනවති. ඡන්දාගතියෙන් බත් ද උදෙසති’ යි භික්ෂූන් ලවා ලමු කොට සිතවත්. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මෙත්තිය භුම්මජක භික්ෂූහු ආයුෂ්මත් දබ්බමල්ලපුත්ර තෙරණුවන් භික්ෂූන් ලවා ලමු කොට සිතවූහු දැ යි … සැබෑ ද මහණෙනි, තෙපි දබ්බමල්ල පුත්රයහට භික්ෂූන් ලවා ලමු කොට සිතවහු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූහ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දබ්බමල්ල පුත්රයහට භික්ෂූන් ලවා ලාමක කොට සිතවූවහු ද, හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මේ සික පදය උදෙසවු:
“ලමු කොට සිතැවීමෙහි පචිති වේ” යයි.
මෙසේත් මේ සිකපදය භාග්යවතුන් වහන්සේ විසින් භික්ෂූනට පනවන ලද්දේ වෙයි.
2. එසමයෙහි මෙත්තියභුම්මජක භික්ෂූහු ‘භාග්යවතුන් වහන්සේ විසින් ලමු කොට සිතැවීම පිළිකෙව් කරන ලදැ යි මෙපමණකින් භික්ෂූහු අසන්නාහ’යි භික්ෂූන්ගේ වැළතෙහි ආයුෂ්මත් දබ්බමල්ලපුත්ර තෙරණුවන්ට ‘ඡන්දාගතියෙන් දබ්බමල්ලපුත්ර තෙමේ සෙනසුන් පැනවීම ද බත් උදෙසීම ද කෙරේ’යයි නුගුණ පවසති. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මෙත්තිය භුම්මජක භික්ෂූහු ආයුෂ්මත් දබ්බමල්ලපුත්ර තෙරණුවන්ට නුගුණ පැවසූහු දැ යි, ... සැබෑ ද මහණෙනි, තෙපි දබ්බමල්ලපුත්රහට නුගුණ පවසහු දැ යි, සැබැව භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූහ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දබ්බමල්ලපුත්රයහට නුගුණ පැවැසූවහු දැ? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“ලමු කොට සිතැවීමෙහි නුගුණ පැවැසීමෙහි පචිති වේ” යයි.
3. උජ්ඣාපනක නම්: සෙනසුන් පනවන්නකු කොට හෝ බත් උදෙසන්නකු කොට හෝ හඹු බෙදන්නකු කොට හෝ පලතුරු බෙදන්නකු කොට හෝ කැවිලි බෙදන්නකු කොට හෝ මඳදැයක් බෙදාලන්නකු කොට හෝ සඟහු විසින් සම්මත කරන ලද උපසපනක්හු යැ. ගරහනු කැමැතියේ අයස දනවනු කැමැතියේ මකුකරනු කැමැතියේ උපසපන්නක්හු ලමු කොට සිතවා නම් හෝ නුගුණ පවසා නම් හෝ පචිති ඇවැත් වේ.
දැහැමිකම්හි ධර්මකර්මසංඥා ඇති යේ ලමු කොට සිතවාලීමෙහි නුගුණ පැවැසීමෙහි පචිති ඇවැත් වේ. දැහැමිකම්හි විමති ඇතියේ ලමු කොට සිතැවීමෙහි නුගුණ පැවසීමෙහි පචිති ඇවැත් වේ. දැහැමිකම්හි අධර්මකර්ම සංඥා ඇතියේ ලමුකොට සිතැවීමෙහි නුගුණ පැවසීමෙහි පචිති ඇවැත් වේ.
අනුපසපනක්හු ලමු කොට සිතවා නම් හෝ නුගුණ පවසා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. සෙනසුන් පනවන්නකු කොට හෝ බත් උදෙසන්නකු කොට හෝ හඹු බෙදන්නකු කොට හෝ පලතුරු බෙදන්නකු කොට හෝ කැවිලි බෙදන්නකු කොට හෝ මඳදැයක් බෙදාලන්නකු කොට හෝ සඟහු විසින් සම්මත නො කරන ලද උපසපනක්හු ගරහනු කැමැතියේ අයස දනවනු කැමැතියේ මකු කරනු කැමැතියේ උපසපනක්හු ලවා හෝ අනුපසපනක්හු ලවා හෝ ලමු කොට සිතවා නම් හෝ නුගුණ පවසා නම් හෝ දුකුළා ඇවැත් වේ.