6. 2. 2.
අඤ්ඤවාදක ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙමේ අනාචාරයෙහි හැසිරැ සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නේ ‘කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි ඇවතට පැමිණි යෙම් ද? කෙසේ ඇවැතට පැමිණියෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ’යි අනෙකකින් අනෙකක් වසාලයි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු දොස් නඟති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් ඡන්න සඟමැද ඇවතින් අනුයෝගවතට නංවනු ලබන්නේ ‘කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි ඇවතට පැමිණියෙම් ද? කෙසේ ඇවතට පැමිණියෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ’යි අනෙකකින් අනෙකක් වසාලී ද … කිම සැබෑ ද, ඡන්න තෙපි සඟමැද ඇවතින් අනුයෝගවතට නංවනු ලබන්නහු ‘ කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි ඇවතට පැමිණියෙම් ද? කෙසේ පැමිණියෙම් ද? කවරක්හට බෙණෙහු ද? කුමක් බෙණෙවු දැ’යි අනෙකකින් අනෙකක් වසාලවූ ද. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ … කෙසේ නම් හිස්පුරුෂය, තෙපි සඟමැදහි ඇවතින් අනුයෝගවතට නංවනු ලබන්නහු ‘ කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි පැමිණියෙම් ද? කෙසේ පැමිණියෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ’යි. අනෙකකින් අනෙකක් වසාලූවහු ද, හිස්පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි … ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූහ. ඒ කරුණෙන් ම මහණෙනි, සඞ්ඝ තෙමේ ඡන්න භික්‍ෂූහට අඤ්ඤවාදක සම්මුතිය පිහිටුවාවා. මෙසේ ද මහණෙනි, පිහිටුවාලිය යුත්තී ය, ප්‍රතිබල වූ ව්‍යක්ත වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
2. වහන්ස, සඞ්ඝයා මාගේ වචනය අසාවා, මේ ඡන්න මහණ සඟමැද ඇවතින් අනුයෝග වතට නංවනු ලබන්නේ අනෙකකින් අනෙකක් වසාලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සංඝයා ඡන්න මහණහට අඤ්ඤවාදක සම්මුතිය පිහිටුවන්නේ යැ. මේ ඤත්තිය යි.
3. වහන්ස, සඞ්ඝයා මාගේ (වචනය) අසාවා, මේ ඡන්න මහණ සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නේ අනෙකකින් අනෙකක් වසාලයි. සඞ්ඝයා ඡන්න මහණට අඤ්ඤවාදක සම්මුතිය පිහිටුවාල යි. යම් ආයුෂ්මත් කෙනකුන්ට ඡන්න භික්‍ෂුහට අඤ්ඤවාදකා රෝපණය රුස්නේ නම් හේ නිහඬ වන්නේ යැ, යමක්හට නො රුස්නේ නම් හේ කියන්නේ යැ, සංඝයා විසින් ඡන්න මහණහුට අඤ්ඤවාදකය පිහිටුවන ලදි. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬ වී මෙසේ මෙය දරමි යි.
4. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඡන්න මහණහු නොයෙක් කරුණෙන් ගරහා දුබර බැව්හි … මෙසේ ද වනාහි මහණෙනි මේ සිකපදය උදෙසවු.
“අන්‍යවාදයෙහි පචිති වේ” යයි.
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සිකපදය භික්‍ෂූන් හට මෙසේත් පනවන ලද්දේ වෙයි.
5. එසමයෙහි වනාහි ආයුෂ්මත් ඡන්න මහණ සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නේ අනෙකෙකින් අනෙකක් වසාලමින් ඇවතට පැමිණෙන්නෙමි යි නිහඬ වැ සඞ්ඝයා වෙහෙසයි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් ඡන්න තෙමේ සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසී ද … සැබෑ ද ඡන්නයෙනි, තෙපි සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නහු නිහඬ වැ සඞ්ඝයා වෙහෙසවු ද? සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. … කෙසේ නම් හිස් පුරුෂය, තෙපි සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නහු නිහඬ වැ සඞ්ඝයා වෙහෙසවු ද? හිස්පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූහු. එසේ නම් මහණෙනි, සඞ්ඝයා ඡන්න මහණහට විහෙසකය පිහිටුවාවා. මෙසේ ද මහණෙනි, පිහිටුවිය යුතු යි. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝයා දැන්විය යුත්තේ යි.
6. ස්වාමීනි, සඞ්ඝයා මාගේ වචනය අසාවා. මේ ඡන්න මහණ සඟමැද ඇවැතින් අනුයෝග වතට නංවනු ලබන්නේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝයා ඡන්න මහණහට විහෙසකය පිහිටුවන්නේ යැ මේ ඥප්තිය යි.
7. ස්වාමීනි, සඞ්ඝයා මාගේ වචනය අසාවා. මේ ඡන්න මහණ සඟමැද ඇවැතින් අනුයෝග වතට නංවනු ලබන්නේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසයි. සඞ්ඝයා ඡන්න මහණහට විහෙසකය පිහිටුවාලයි. ඡන්න භික්‍ෂුහට විහෙසකාරෝපණය යම් ආයුෂ්මත් කෙනකුන්ට රුස්නේ නම් හේ නිහඬ වන්නේ යැ. යමක්හට නො රුස්නේ නම් හේ කියන්නේ යැ සඞ්ඝයා විසින් ඡන්න මහණහට විහෙසකය පිහිටුවන ලදි. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬ වී. තෙල මෙසේ දරමි යි.
8. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඡන්නහට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි … මෙසේ ද මහණෙනි මේ සික පදය උදෙසවු.
“අනෙකක් කීමෙහි ද වෙහෙසීමෙහි ද පචිති වේ” යයි.