6. 2. 1.
භූතගාම ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු අළවුපුරැ අග්ගාළව සෑයෙහි වැඩ වෙසෙති. එසමයෙහි අළවු රට වැසි භික්ෂූහු නවාම් කරනුවෝ රුක් සිඳීම ද සිඳු වීම ද කෙරෙති. එක්තරා අළවු වැසි මහණෙක් ද රුකක් සිඳියි. එරුක්හි අරක්ගත් දේවතා තොමෝ එමහණහට මෙය කිවුය: වහන්ස, තමාට නිවෙස්නක් කරනු කැමැති වැ මාගේ නිවෙස්න නහමක් සිඳිනු මැනැවැ යි. එ මහණ (ඇයගේ බස) නො ගන්නේ සින්දේ යැ. එදෙව්දූගේ දරුවාගේ බාහුව ද සින්දේ යි. එකල්හි ඒ දෙව්දුවට තෙල සිත විය: “යම් හෙයෙකින් මම් මේ මහණහු මෙහි දී මැ දිවියෙන් තොර කරන්නෙම් නම් යෙහෙකැ යි” එකෙණෙහි ම ඇයට තෙල සිත වී: “යම් හෙයෙකින් මම මේ මහණහු මෙහි දී මැ දිවියෙන් තොර කරන්නෙම් නම් තෙල කරුණ මට නුසුදුසු මැ යි. මම තෙල කරුණ භාග්යවතුන්හට දන්වන්නෙම් නම් යෙහෙකැ යි. එකල්හි ඒ දෙව්දූ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළැඹියා ය. එළැඹැ භාග්යවතුන්හට තෙල කරුණ දැන්වූ ය.
මැනැවි මැනැවි දෙව්දුව, තෙපි එමහණහු දිවියෙන් තොර නො කළහු මනා මැ යි. ඉදින් දෙව්දුව, තෙපි අද එමහණහු දිවියෙන් තොර කරවු නම් බොහෝ පව් උපදවා ගන්නහු ය. යා දෙව්දුව, තෙපි අසුවල් පෙදෙසෙහි හිස් රුකෙක් වෙයි එහි එළැඹෙව යි.
2. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ශ්රමණශාක්යපුත්රයෝ රුක් සිඳීමත් සිඳවීමත් කරන්නාහු ද, ශ්රමණශාක්යපුත්රයෝ ඒකින්ද්රියජීවය පෙළන්නාහු දැ යි. ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) භික්ෂූහු ඇසූහු ය. යම් භික්ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමුකොට සිතති නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් අළවු වැසි භික්ෂූහු රුක් සිඳීමත් සිඳවීමත් කොළෝ ද, …
එකල්හි භාග්යවතුන් වහන්සේ “සැබෑ ද මහණෙනි, තෙපි රුක් සිඳීමත් සිඳවීමත් කරවු ද? සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූසේක. … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි රුක් සිඳීමත් සිඳවීමත් කළහු ද, හිස් පුරුෂයෙනි, මිනිස්සු රුක්හි ජීවය ඇතැ යි යන හැඟීම් ඇතියෝ යි. එහෙයින් හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදයට හෝ නො වෙයි … මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“භූතගාමපාතව්යාතායෙහි පචිති වේ” යයි
3. භූතගාම නම්: පඤ්චබීජජාතයෝ යි. මූලබීජ යැ, ඛන්ධබීජ යැ, එළුබීජ යැ, අග්ගබීජ යැ හා පස්වැනි බීජබීජ යි.
මූලබීජ නම්: කහ යැ ඉඟුරු යැ වදකසා යැ හෙළවදකසා යැ ඉවද යැ කුළුරෑණ යැ සුවඳහොට යැ වම්මුතු යැ, තව ද අන්ය වූ ද යම්බඳු බීජජාතයෙක් මුලෙහි උපදී ද මුලෙහි හටගනී ද මේ (හැම) මූලබීජ නම් වෙයි.
ඛන්ධබීජ නම්: ඇහැටු යැ නුග යැ පුලිල යැ දිඹුල් යැ කලහ යැ ගිවුළු යැ, තවද අන්ය වූ ද යම්බඳු බීජජාතයෙක් කඳෙහි උපදී ද කඳෙහි හටගනී ද මේ (හැම) ඛන්ධබීජ නම් වෙයි.
එළුබීජ නම්: උගු යැ හුණ යැ බට යැ, තව ද අන්ය වූ ද යම්බඳු බීජජාතයෙක් පුරුකෙහි උපදී ද පුරුකෙහි හටගනී ද මේ (හැම) එළුබීජ නම් වෙයි.
අග්ගබීජ නම්: අඳුතලා යැ මුරුවා යැ හිරිවේරි යැ තවද අන්ය වූ ද යම්බඳු බීජජාතයෙක් අගෙහි (කරටියෙහි) උපදී ද අගෙහි හටගනී ද මේ (හැම) අග්ගබීජ නම් වෙයි.
බීජබීජ නම්: හැල් වී ඈ පුබ්බන්න යැ මුඟු උඳු ඈ අපරන්න යැ තවද අන්ය වූ ද යම්බඳු බීජජාතයෙක් ඇටයෙහි උපදී ද ඇටයෙහි හටගනී ද මේ (හැම) බීජබීජ නම් වේ.
බීජයෙහි බීජසංඥා ඇතියේ සිඳුනේ හෝ සිඳුවන්නේ හෝ බිඳුනේ හෝ බිඳුවන්නේ හෝ පිසන්නේ හෝ පිසවන්නේ හෝ පචිති ඇවැත් වෙයි. බීජයෙහි විමති ඇතියේ සිඳුනේ හෝ සිඳුවන්නේ හෝ බිඳුනේ හෝ බිඳුවන්නේ හෝ පිසන්නේ හෝ පිසවන්නේ හෝ දුකුළා ඇවැත් වේ. බීජයෙහි නො බීජුසන් ඇතියේ සිඳුනේ හෝ සිඳුවන්නේ හෝ බිඳුනේ හෝ බිඳුවන්නේ හෝ පිසන්නේ හෝ පිසවන්නේ හෝ ඇවැත් නැති.
බීජ නොවූයෙහි බීජසංඥා ඇතියේ දුකුළා ඇවැත් වේ. බීජ නොවූයෙහි විමති ඇතියේ දුකුළා ඇවැත් වේ. බීජ නොවූයෙහි අබීජසංඥා ඇතියේ ඇවැත් නැති.
මෙය දනුව, මෙය දෙව, මෙය ගෙනෙව, මෙයින් වැඩෙකි, මෙය කැපකරව යි බෙණේ නම් ඔහුට ද නො සිතා කරන්නහුට ද නො සිහියෙන් කරන්නහුට ද නො දන්නහුට ද උම්මත්තකයහට ද ආදි කම්මිකයාහට ද ඇවැත් නැති.
පළමුවැනි භූතගාම ශික්ෂාපදය යි.