6. 1. 9.
දුට්ඨුල්ලාරෝචන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ සවග මහණුන් සමඟ කලහ කළේ වෙයි. හෙතෙම දැන දැන සුකුරුමිදීම් ඇවතකට පැමිණ සඟුන් ගෙන් ඒ ඇවතට පිරිවෙස් යැදී. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවතට පිරිවෙස් දුන්නේ යි.
2. එසමයෙහි සැවැතෙහි එක්තරා සමූහයකගේ සඟබතෙක් වෙයි. හෙ පිරිවසමින් භක්තග්‍රයෙහි අසුන් පිරියත්හි හුන්නේ යැ. සවග මහණහු ඒ උවසුවනට මෙය කීහු: ඇවැත්නි, තෙල ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර තෙමේ තොප විසින් සම්භාවනා කරන ලද කුලූපගයෙකි. යම්බඳු මැ අතෙකින් සැදැහැයෙන් දුන් දෙය වළඳා ද, එබඳු මැ අතින් උපක්‍රම කොට අශුචි මිදුවේ යැ. හේ සංචේතනික සුක්කවිස්සට්ඨි ඇවැතකට පැමිණ සඟුන්ගෙන් ඒ ඇවැතට පිරිවෙස් යැදී. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැතට පිරිවෙස් දුන්නේ යැ. හේ පිරිවසමින් අසුන් පිරියත්හි හුන්නේ යි.
3. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු මහණක්හුගේ දුළුල් ඇවැතක් අනුපසපනක්හට දැන්වූහු දැ යි ... සැබෑද මහණෙනි, තෙපි මහණක්හුගේ දුළුල් ඇවැතක් අනුපසපනක්හට දන්වහු ද? සැබැව භාග්‍යවතුනි, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස්පුරුෂයෙනි, තෙපි මහණක්හුගේ දුළුල් ඇවැතක් අනුපසපනක්හට දැන්වූවහු ද? හිස්පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මහණක්හුගේ දුළුල් ඇවැතක් අනුපසපනක්හට භික්‍ෂුසම්මුතියෙන් තොර වැ ඇරොජා නම් පචිති වේ” යයි.
4. යො පන: යම්, යම්බඳු ... භික්ඛු: ... මෙතෙම මේ අරුතෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. භික්ඛුස්ස: අන් මහණක්හුගේ. දුට්ඨුල්ලා නාම ආපත්ති: සතර පරිජි ද තෙළෙස් සඟ වෙසෙස් ද. අනුපසම්පන්න නම්: භික්‍ෂුහු ද භික්‍ෂුණිය ද තබා අවශේෂ වූයේ අනුපසම්පන්න නමි. ආරෝචෙය්‍ය: ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ ගෘහස්ථයකුට හෝ පැවිද්දකුට හෝ දන්වයි.
අඤ්ඤත්‍ර භික්ඛු සම්මුතියා: භික්‍ෂු සම්මුතිය හැරැ පියා ඇවැත් පිරියත් කොට ඇති කුලපිරියත් කොට නැති භික්‍ෂු සම්මුතියෙක් ඇත, කුලපිරියත් කොට ඇති ඇවැත් පිරියත් කොට නැති භික්‍ෂු සම්මුතියෙක් ඇත, ඇවැත් පිරියත් කොට ද කුල පිරියත් කොට ද ඇති භික්‍ෂු සම්මුතියෙක් ඇත. ඇවැත් පිරියත් කොට නොමැති කුලපිරියත් කොට නැති භික්‍ෂු සම්මුතියෙක් ඇති.
ආපත්තිපරියන්ත නම්: මෙතෙක් ඇවැතින් ඇරොජිය යුතු යැ යි ආපත්තීහු සලකා ගන්නා ලද්දාහු වෙති. කුලපරියන්ත නම්: මෙතෙක් කුලයන්හි ඇරොජියයුතු යැ යි කුලයෝ සලකා ගන්නා ලද්දාහු වෙති. ආපත්ති පරියන්ත හා කුලපරියන්ත නම්: මෙතෙක් ඇවැතින් මෙතෙක් කුලයන්හි ඇරොජිය යුතු යැ යි ආපත්තීහු ද කුලයෝ ද සලකාගන්නා ලද්දාහු වෙති. නොම ආපත්ති පරියන්ත හා නො ද කුලපරියන්ත නම්: මෙතෙක් ඇවැතින් මෙතෙක් කුලයන්හි ඇරොජිය යුතු යැ යි ආපත්තීහු ද කුලයෝ ද නො ද සලකාගන්නා ලද්දාහු වෙති.
ආපත්තිපර්‍ය්‍යන්තයෙහි යම් ඇවැත් කෙනෙක් සලකාගන්නා ලද්දාහු වෙද් ද ඒ ඇවැත් තබා අනෙක් ඇවැත්වලින් ඇරොජා නම් පචිති ඇවැත් වේ.
කුලපර්‍ය්‍යන්තයෙහි යම් බඳු කුල කෙනෙක් සලකාගන්නා ලද්දාහු වෙද්ද, ඒ කුලයන් තබා අන්‍ය කුලයන්හි ඇරොජා නම් පචිති ඇවැත් වේ.
ආපත්තිපර්‍ය්‍යන්තයෙහි ද කුලපර්‍ය්‍යන්තයෙහි ද යම් ඇවැත් කෙනෙක් සලකාගන්නා ලද්දාහු වෙද්ද, ඒ ඇවැත් තබා යම් කුල කෙනෙක් සලකා ගන්නා ලද්දාහු වෙද්ද, ඒ කුලයන් තබා අනෙක් ඇවැත්වලින් අන්‍යකුලයන්හි ඇරොජා නම් පචිති ඇවැත් වේ.
ආපත්තිපර්‍ය්‍යන්තයක් නොමැති කල්හි කුලපර්‍ය්‍යන්තයක් නැති කල්හි ඇවැත් නැති.
දුළුල් ඇවැතෙහි දුළුල් ඇවැත්සන් ඇතියේ භික්‍ෂු සම්මුතියෙන් තොර වැ අනුපසපනක්හට ඇරොජා නම් පචිති ඇවැත් වේ. දුළුල් ඇවැතෙහි විමති ඇතියේ භික්‍ෂු සම්මුතියෙන් තොර වැ අනුපසපනක්හට ඇරොජා නම් පචිති ඇවැත් වේ. දුළුල් ඇවැතෙහි නොදුළුල් ඇවැත්සන් ඇතියේ භික්‍ෂුසම්මුතියෙන් තොර වැ අනුපසපනක්හට ඇරොජා නම් පචිති ඇවැත් වේ.