6. 1. 10.
පඨවිඛණන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු අළවු පුරැ අග්ගාළව සෑයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි අළවු පුරැ නිවැසි භික්ෂූහු නවාම් කරනුවෝ පොළොව කැණීම ද කෙරෙති, කැණවීම ද කෙරෙත්, මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්රමණ ශාක්යපුත්රයෝ පොළොව කැණූහු ද? කැණවූහු ද? ශ්රමණ ශාක්යපුත්රයෝ ඒකින්ද්රිය ජීවය පෙළූහු”දැ යි ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) භික්ෂූහු ඇසූහු.
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් අළවුපුරැ නිවැසි භික්ෂූහු පොළොව කැණූහු ද? කැණවූහු”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි පොළොව කණිවු ද? කණවවු ද? සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පොළොව කැණූහු ද? කැණවූහු ද? හිස් පුරුෂයෙනි, මිනිස්සු පොළොවෙහි ජීවසංඥා ඇතියෝ යැ. හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් පොළොව කණින්නේ නම් හෝ කණවන්නේ නම් හෝ පචිති වේ” ය යි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
පඨවි නම් ජාත පෘථිවිය ද අජාත පෘථිවිය දැ යි පෘථිවීහු දෙදෙනෙකි. ජාතපෘථිවි නම්: හුදු පස් ඇති හුදු මැටි ඇති මඳ පහණැති මඳ හකුරැති මඳකැබිලිති ඇති මඳ කැටහකුරැති මඳ වැලි ඇති බෙහෙවින් පස් ඇති බෙහෙවින් මැටි ඇති නොදැවුණු ද පොළොව ජාතපඨවි යයි කියනු ලැබේ. යම් පස් රැසෙක් හෝ මැටිරැසෙක් හෝ අයිරා සිවුමසක් මුළුල්ලෙහි වැස්සෙන් තෙමීගියේ වේ ද, හෙද ජාතපෘථිවි යයි කියනු ලැබේ. අජාතපෘථිවි නම්: හුදුපහණැති හුදුහකුරැති හුදුකැබිලිති ඇති හුදු කැටහකුරැති හුදුවැලි ඇති මඳපස් ඇති මඳ මැටි ඇති බෙහෙවින් පහණැති බොහෙවින් හකුරැති බෙහෙවින් කැබිලිති ඇති බෙහෙවින් කැටහකුරැති බෙහෙවින් වැලි ඇති දැවුණුදු පොළොව අජාතපඨවි යයි කියනු ලැබේ. යම් පස් රැසෙක් හෝ මැටි රැසෙක් හෝ අඩු සිවුමසක් වැස්සෙන් තෙමීගියේ වේ ද, හෙ ද අජාතපෘථිවි යයි කියනු ලැබේ.
ඛණෙය්ය: තෙමේ කණී ද, පචිති ඇවැත් වේ. ඛණාපෙය්ය: අනෙකකු අණවා ද පචිති ඇවැත් වේ. වරක් ඇණවූයේ බොහෝ වරක් කණී ද පචිති ඇවැත් වේ.
පොළොවෙහි පොළෝ සන් ඇතියේ කණී ද කණවා ද බිඳී ද බිඳුවා ද දවා ද දවවා ද, පචිති ඇවැත් වේ. පොළොවෙහි විමති ඇතියේ කණී ද කණවා ද බිඳී ද බිඳුවා ද දවා ද දවවා ද, දුකුළා ඇවැත් වේ. පොළොවෙහි නො පොළෝ සන් ඇතියේ කණී ද කණවා ද බිඳී ද බිඳුවා ද දවා ද දවවා ද, ඇවැත් නැති.
නො පොළොවෙහි පොළෝසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නො පොළොවෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නො පොළොවෙහි නො පොළෝසන් ඇති යේ නම් ඇවැත් නැති.
මෙය දනු ව, මෙය දෙව, මෙය ගෙනෙව, මෙයින් වැඩෙකි, මෙය කැප කරවයි බෙණේ ද, නො සිතා (බිඳින්නහුට) නො සිහියෙන් (අනෙකක් කරන්නාහට), නො දන්නාහට උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දසවැනි පඨවිඛණන ශික්ෂාපද යි
ප්රථම මුසාවාද වර්ගය යි.
එහි උද්දානය:
මුසාවාද යැ ඔමසවාද යැ පෙසුඤ්ඤ යැ පදසෝධම්ම යැ සහසෙය්ය දෙක යැ විඥයක්හු නැති වැ ධම්ම දේසනා යැ භූතාරෝචන යැ දුට්ඨුල්ලාරෝචන යැ පඨවිඛණන යි.