6. 1. 8.
භූතාරෝචන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු විසල්පුරැ මහවෙනේ කුළාරහල්හි වැඩැවෙසෙති. එකල්හි වනාහි දුටුපමණින් මිතුරු වූ දැඩි වැ මිතුරු වූ බොහෝ භික්‍ෂූහු වග්ගුමුදා නදීතීරය සමීපයෙහි වස් එළැඹියහ. එසමයෙහි වැදෑරට දුර්භික්‍ෂ ඇතියේ වෙයි. දෙපරිද්දෙකින් පැවැත්විය යුතු ඉරියව් ඇතියේ නොහොත් දුකසේ පැවැත්විය යුතු දිවෙල් ඇතියේ වෙයි. (තන්හි තන්හි විසිරීගිය) සුදුවන් ඇට ඇත්තේ නොහොත් සේතට්ඨිකා නම් ගොයම්ලෙඩින් නැසුණු ශස්‍ය ශීර්‍ෂ ඇත්තේ වෙයි. වපුළ ගොයම්හි ලභ පමණක් ඉතිරිවූයේ නොහොත් කුසපතින් පැවැත්විය යුතු දිවෙල් ඇත්තේ වෙයි. පාත්‍රයෙන් සිඟායෑමෙන් යැපෙන්නට පහසු නො වෙයි.
2. එකල්හි ඒ මහණුන්හට මෙසිත විය. මෙකල්හි වනාහි වැදෑරට හටගත් දුබික් ඇතියේ වෙයි. දෙපරිද්දෙකින් පැවැත්විය යුතු ඉරියව් ඇතියේ නොහොත් දුකසේ පැවැත්විය යුතු දිවෙල් ඇතියේ වෙයි. සුදුවන් ඇට ඇතියේ නොහොත් සේතට්ඨිකා නම් ගොයම්ලෙඩින් නැසුණු ශස්‍ය ශීර්‍ෂ ඇතියේ වෙයි. වපුළ ගොයම්හි ලහ පමණක් ඉතිරි වූයේ නොහොත් කුසපතින් පැවැත්විය යුතු දිවෙල් ඇතියේ වෙයි. පාත්‍රයෙන් සිඟායෑමෙන් යැපෙන්නට පහසු වූයේ නො වෙයි. ඇපි කවර නම් උපායෙකින් සමගි සතුටු වැ විවාද නොකරන්නමෝ පහසුවෙන් වස් වසන්නමු ද, අහරින් නො ද මිරිකෙන්නමු දැ යි?
3. ඇතැම් කෙනෙක් මෙසේ කීහු: දැන් ඇපි ඇවැත්නි, ගිහියන්ගේ කර්‍මාන්තයෙහි යෙදී සිටින්නමු නම් මැනැවි, එසේ ඇති කල්හි ඔහු අපට දෙන්නට සිතන්නාහ. මෙසේ ඇපි සමගි සතුටු වැ විවාද නැති වැ පහසුවෙන් වස් වසන්නමු, අහරින් නො ද මිරිකෙන්නෙමු යි.
4. ඇතැම් කෙනෙක් මෙසේ කීහු: ඇවැත්නි, කම් නැත. ගිහියන්ගේ කර්‍මාන්තයෙහි යෙදී සිටීමෙන් කවර වැඩෙක් ද? එසේ නම් ඇවැත්නි, ඇපි ගිහියන්ගේ පණිවුඩ ගෙනැ යමු. මෙසේ ඔහු අපට දෙනු කොට සිතන්නාහ. මෙසේ ඇපි සමගි සතුටු වැ විවාද නැති වැ පහසුවෙන් වස් වසන්නම්හ, අහරින් නො ද මිරිකෙන්නම්හ.
5. ඇතැම් කෙනෙක් මෙසේ කීහු: ඇවැත්නි, ගිහියන්ගේ කර්‍මාන්තයෙහි යෙදී සිටීමෙන් කවර වැඩෙක් ද? ගිහියන්ගේ පණිවුඩ ගෙන යෑමෙන් කවර වැඩෙක් ද? එසේ නම් ඇවැත්නි, අපි ගිහියනට උනුන්ගේ උතුරු මිනිස් දම්හි ගුණ කියම්හ. අසෝ මහණ පළමු දැහැන ලැබුවෙකි. අසෝ මහණ දෙවන දැහැන ලැබුවෙකි. අසෝ මහණ තෙවන දැහැන ලැබුවෙකි. අසෝ මහණ සතරවන දැහැන ලැබුවෙකි.
අසෝ මහණ සෝවන් වෙයි. අසෝ මහණ සෙදගැමි යැ. අසෝ මහණ අනගැමි යැ. අසෝ මහණ රහත් යැ. අසෝ මහණ ත්‍රිවිද්‍යා ඇතියෙකැ. අසෝ මහණ ෂඩභිඥා ඇතියෙකැ යි. එසේ ඇති කල්හි ඔහු අපට දෙනු කොට සිතන්නාහු ය. මෙසේ ඇපි සමගි සතුටු වැ විවාද නැති වැ පහසු වෙන් වස් වසන්නම්හ. අහරින් නො ද මිරිකෙන්නම්හ.
6. ඇවැත්නි, ගිහියනට අප විසින් උනුන්ගේ උතුරුමිනිස්ධම්හි යම් ගුණ කීමෙක් වේ නම් මෙයැ මැ ශ්‍රේෂ්ඨ යැ. එකල්හි ඒ භික්‍ෂූහු අසෝ මහණ පළමු දැහැන ලැබුවෙකැ ... අසෝ මහණ ෂඩභිඥා ඇතියෙකැ යි ගිහියනට අනන්මන උතුරුමිනිස්ධම්හි ගුණ කීහු.
7. එකල්හි ඒ මිනිස්සු “අපට ඒකාන්තයෙන් ලාභයෙකි. අපට ඒකාන්තයෙන් මනා ලැබීමෙකි. යම්බඳු අපට මෙබඳු භික්‍ෂූහු වස් එළඹියාහු ද මෙයින් පෙරැ අපට කලණසැහැවී ඇති සිල්වත් මේ මහණුන් වැනි භික්‍ෂූහු වස් නො එළඹියාහු යැ”යි කීහු. එව්හු යම්බඳු බොජුන් භික්‍ෂූනට දෙත් ද එබඳු බොජුන් තුමූ නො වළඳති, මාපියනට නො දෙති, අඹුදරුවනට නො දෙති, දස් කම්කරු පුරිස්නට නො දෙති, මිත්‍රාමාත්‍යයනට නො දෙති, නෑසහලේ නෑයනට නො දෙත්. යම්බඳු දෑ භික්‍ෂූනට දෙත් ද එබඳු කෑ යුතු දෑ රස විඳිය යුතු දෑ පිය යුතු දෑ තුමූ නො බොති. මාපියනට නොදෙති, අඹුදරුවනට නො දෙති, දස්කම්කරු පුරිස්නට නො දෙති, මිත්‍රාමාත්‍යයනට නො දෙති, නෑ සහලේ නෑයනට නොදෙත්.
8. එකල්හි ඒ භික්‍ෂූහු සිරිරිපැහැ ඇතියෝ පිරුණු ඉඳුරන් ඇතියෝ පසන් මුවපැහැ ඇතියෝ වෙසෙසින් පහන් සිවිපැහැ ඇතියෝ වූහු. වස් වැස නිම වූ භික්‍ෂූන් භාග්‍යවතුන් දක්නට යෑම යැ යන තෙල සිරිත පුරුද්දෙක් මැ යි. එකල්හි ඒ භික්‍ෂූහු වස් වැස නිමවූවාහු වස් තෙමස ඇවෑමෙන් සෙනසුන් තැන්පත් කොට පා සිවුරු ගෙන විසල්පුර යම් තැනෙක ද එහි ගියහ. පිළිවෙළින් විසල්පුර මහවන කූළාරහල බුදුහු යම් තැනෙක ද එහි එළැඹියහ. එළැඹ බුදුන් වැඳ එකත් පසෙකැ හුන්හ.
9. එසමයෙහි වනාහි දිශාවන්හි වස් වුසූ භික්‍ෂූහු කෘශ වූවාහු රළු සිරිරි ඇතියාහු දුර්වර්‍ණ වූවාහු හටගත් පඬුවන් පැහැ ඇතියාහු ඉල්පීගිය නහරින් යුතු සිරිරි ඇතියාහු වෙති. වග්ගුමුදාතිරීය භික්‍ෂූහු වනාහි පැහැපත් සිරිරි ඇතියාහු පිරුණු ඉඳුරන් ඇතියාහු පසන් මුවපැහැ ඇතියාහු වෙසෙසින් පහන් සිවිපැහැඇතියාහු වෙති. ආගන්තුක භික්‍ෂූන් සමඟ පිළිසඳර කිරීම යැ යන තෙල සිරිත භාග්‍යවත් බුදුවරුන්ගේ පුරුද්දෙක් මැ යි.