11. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වග්ගුමුදාතිරීය භික්‍ෂූන්ට මෙය වදාළ සේක. කෙසේ නම් මහණෙනි, තෙපි සමගි වැ සතුටු සිතැති වැ විවාද නැති වැ පහසුවෙන් වස් වුසූවහු ද? අහරින් නො ද ක්ලාන්ත වූවහු දැ යි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්ට මෙකරුණ සැලකළහ. කිමෙක් ද මහණෙනි, (එය) තොප පිළිබැඳි වූවෙක් ද? භාග්‍යවතුන් වහන්ස, වූවෙකි. භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් ... මහණෙනි, තෙපි උදරය කරණ කොට ගෙන ගිහියනට උනුන්ගේ උතුරුමිනිස්දහම්හි ගුණ කීවහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් අනුපසපනක්හට උතුරුමිනිස්දම් ඇරොජන්නේ නම් විද්‍යමානයෙහි පචිති වේ” යයි.
12. යෝපන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙම මේ අරුතෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. අනුපසම්පන්න නම්: මහණ ද මෙහෙණ ද තබා අවශේෂ වූයේ අනුපසම්පන්න නම් වේ.
13. උත්තරිමනුස්සධම්ම නම්: ධ්‍යාන යැ විමෝක්‍ෂ යැ සමාධි යැ සමාපත්ති යැ ඥානදර්‍ශන යැ මාර්‍ගභාවනා යැ ඵලප්‍රත්‍යක්‍ෂකරණ යැ ක්ලේශප්‍රහාණ යැ චිත්තයාගේ විනීවරණතා යැ ශුන්‍යාගාරයෙහි අභිරති යි. ධ්‍යාන යනු: ප්‍රථමධ්‍යාන යැ ද්විතීයධ්‍යාන යැ තෘතීයධ්‍යාන යැ චතුර්‍ත්‍ථ ධ්‍යානය යි. විමෝක්‍ෂ යනු: ශුන්‍යතවිමෝක්‍ෂ යැ අනිමිත්තවිමෝක්‍ෂ යැ අප්‍රණිහිත විමෝක්‍ෂ යි. සමාධි යනු: ශුන්‍යත සමාධි යැ අනිමිත්ත සමාධි යැ අප්‍රණිහිත සමාධි යි. සමාපත්ති යනු: ශුන්‍යතසමාපත්ති යැ අනිමිත්ත සමාපත්ති යැ අප්‍රණිහිතසමාපත්ති යි.
ඥානදර්‍ශන යනු: ත්‍රිවිද්‍යා යි. මාර්‍ගභාවනා යනු: සතරසතිපට්ඨාන යැ සතර සම්‍යක්ප්‍රධාන යැ සතර ඍද්ධිපාද යැ පඤ්චේන්‍ද්‍රිය යැ පඤ්චබල යැ සප්තබෝධ්‍යඞ්ග යැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ග යි. ඵලප්‍රත්‍යක්‍ෂකරණ යනු: ස්‍රෝතාපත්තිඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම යැ සකෘදාගාමීඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම යැ අනාගාමීඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම යැ අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම යි. ක්ලේශප්‍රහාණ යනු: රාගයාගේ ප්‍රහාණ යැ ද්වේෂයාගේ ප්‍රහාණ යැ මෝහයාගේ ප්‍රහාණ යි. චිත්තයාගේ විනීවරණතා යනු: රාගයෙන් සිත වෙසෙසින් වැළකුණු බව යැ ද්වේෂයෙන් සිත වෙසෙසින් වැළකුණු බව යැ මෝහයෙන් සිත වෙසෙසින් වැළකුණු බව යි. ශුන්‍යාගාරයෙහි අභිරති යනු: පළමුවන ධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම යැ දෙවන ධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම යැ තෙවන ධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම යැ සතරවන ධ්‍යානයෙන් ශුන්‍යාගාරයෙහි ඇලීම යි.
14. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට සමවැදීමි යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට සමවදිමි යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානයට සමවදින්නෙම් වෙමැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානය ලැබුවෙම් වෙමැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ. ආරෝචෙය්‍ය යනු: ප්‍රථමධ්‍යානය වශීකෘතයෙම් වෙමැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ. ආරෝචෙය්‍ය යනු: මා විසින් ප්‍රථමධ්‍යානය පසක් කරන ලදැයි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
15. ආරෝචෙය්‍ය යනු: ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... චතුර්‍ත්‍ථධ්‍යානය ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් චතුර්‍ත්‍ථධ්‍යානය පසක් කරන ලදැ යි අනුපසපනක්හට බණන්නහුට පචිති ඇවැත් වේ.
16. ආරෝචෙය්‍ය යනු: ශුන්‍යතවිමෝක්‍ෂයට ... අනිමිත්තවිමෝක්‍ෂයට ... අප්‍රණිහිතවිමොක්‍ෂයට ... ශුන්‍යතසමාධියට ... අනිමිත්තසමාධියට ... අප්‍රණිහිතසමාධියට සමවැදීමි ... සමවදිමි ... සමවදින්නෙම් වෙමි ... අප්‍රණිහිතසමාධිය ලැබුවෙම් වෙමි ... වශීකෘතයෙම් වෙමි ... මා විසින් අප්‍රණිහිතසමාධිය ප්‍රත්‍යක්‍ෂ කරන ලදැ යි අනුපසපනක්හට කියන්නහුට පචිති ඇවැත් වේ.