6. 1. 7.
ධම්මදේසනා ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්හි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙරණුවෝ සැවැතෙහි කුලයන් කරා එළැඹෙනු වෙති. බොහෝ කුලවලට එළැඹෙති. එකල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ පෙරවරුයෙහි හැඳැ පෙරැවැ පා සිවුරු ගෙන එක්තරා කුලයකට එළැඹියහ. එසමයෙහි ගෙඅඹුව ගෙහි මහදොරැ හුන්නී වෙයි. ගෙහි ලෙහෙළිය ගබඩා දොරැ හුන්නී වෙයි. එකල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ ගෙඅඹුව වෙත එළැඹියහ. එළැඹැ ගෙඅඹුවගේ කන්මුලැ දහම් දෙසති. එකල්හි ගෙහි ලෙහෙළියට මෙසිත විය. කිමෙක් ද තෙල මහණ නැඳියගේ සොරසැමියෙක් ද නැතහොත් නොමනා බසක් බෙණේ දැ යි.
2. ඉක්බිති ආයුෂ්මත් උදායි තෙරණුවෝ ගෙඅඹුවගේ කන්මුලැ දහම් දෙසා ගෙහි ලෙහෙළිය වෙත එළැඹියහ. එළැඹ ගෙහි ලෙහෙළියගේ කන්මුලැ දම් දෙසති. එකල්හි ගෙඅඹුවට මෙසිත විය. කිමෙක් ද තෙල මහණ ගෙහි ලෙහෙළියගේ සොරසැමියෙක් ද නැතහොත් නො මනා බසක් බෙණේ දැ යි.
3. එකල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ ගෙහි ලෙහෙළියගේ කන්මුලැ දම් දෙසා නික්මගියහ. එකල්හි ගෙඅඹුව ගෙහි ලෙහෙළියට මෙය කිවු යැ. එම්බල කෙල්ල, තෙල මහණ තිට කුමක් කීයේ දැ යි. ආර්‍ය්‍යාවෙනි, මට දහම් දෙසී ය. ආර්‍ය්‍යාවට වැළිත් කුමක් කීයේ ද? මට ද දහම් දෙසී ය. එව්හු ලමු කොට සිතති, නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය උදායී තෙරණුවෝ කන්මුලැ දහම් දෙසූ දැයි මොනවට නික්මුණු හඬින් විවෘත හඬින් යුතු වැ දහම් දෙසියයුතු නො වේ දැ” යි.
4. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ ස්ත්‍රීන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් උදායී මාගමකට දහම් දෙසා”දැ යි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ: ...
සැබෑ ද උදායි, තෝ මාගමකට දහම් දෙසහි දැ යි?
සැබැවැ භාග්‍යවතුන් වහන්ස,
භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෝ මාගමකට දහම් දෙසහි ද? හිස් පුරුෂය, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මාගමකට දහම් දෙසන්නේ නම් පචිති ඇවැත් වේ” යි.
මෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
5. එසමයෙහි උවැසියෝ භික්‍ෂූන් දැක වහන්ස, දහම් දෙසන්නහු නම් මැනැවැයි කීහු. නැඟණියෙනි, මාගමට දහම් දෙසන්නට නො වටී. එසේ නම් වහන්ස, සපෙදෙකින් පස්පෙදෙකින් දහම් දෙසන්නහු නම් එතෙකිනුදු අවබෝධ කරන්නට හැක්ක, නැඟණියනි, මාගමට දහම් දෙසන්නට නො කැප යැ යි කුකුස් කරනුවෝ (දහම්) නො දෙසූහු. උවැසියෝ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යයන් වහන්සේ අප විසින් යදිනු ලබන්නාහු දහම් නො දෙසත් දැ”යි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ උවැසියන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. එකල්හි ඒ භික්‍ෂූහු තෙල කරුණ භාග්‍යවතුන්හට දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි බණ වදාරා මහණුන් ඇමැතූ සේකැ: “මහණෙනි, මාගමට සපෙදෙකින් පස් පෙදෙකින් දහම් දෙසන්නට අනුදනිමි. තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් මාගමකට සපෙදෙකින් පස්පෙදෙකින් මත්තෙහි දෙසන්නේ නම් පචිති වේ” යයි.
මෙසෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
6. එසමයෙහි සවග මහණහු මාගමට සපෙදෙකින් පස් පෙදෙකින් ධම් දෙසන්නට භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදැ යි දැනුම් නැති පිරිම්නියක්හු වෙතැ හිඳුවාගෙනැ මාගමට සපෙදෙකින් පස් පෙදෙකින් මත්තෙහි ධම් දෙසත්. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු දැනුම් නැති පිරිම්නියක්හු වෙතැ හිඳුවාගෙනැ මාගමට සපෙදෙකින් පස් පෙදෙකින් මත්තෙහි ධම් දෙසූහු දැ”යි.