6. 1. 6.
දුතියසහසෙය්ය ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවත්හි ජේතවන නම් අනේ පිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ කොසොල් දනව්හි සිට සැවැතට යන්නාහු සවසැ එක්තරා ගමකට එළැඹියහ. එසමයෙහි ඒ ගම්හි එක්තරා ස්ත්රියක විසින් විසුම්හලෙක් පිහිටුවන ලද්දේ වෙයි. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ඒ ස්ත්රිය වෙතැ එළැඹැ ඇයට මෙය කීහ: ‘ඉදින් බුහුන, තොපට බරෙක් නො වේ නම් එක් රැයක් විසුම්හල්හි වසන්නම්හ’යි. වසනු මැනැවැ වහන්ස. අන්ය වූ ද මගියෝ ඇය වෙතැ එළැඹියහ. එළැඹැ ඒ ස්ත්රියට මෙය කීහු. ‘ඉදින් ආර්ය්යාවෙනි, තොපට බරෙක් නො වේ නම් එක් රැයක් විසුම්හල්හි වසන්නම් හ’යි. තෙල ආර්ය්ය වූ ශ්රමණයෝ පළමු කොට එළැඹියහ. ‘ඉදින් ඔබ අනුදනිත් නම් වසන්නහු යැයි කිවු යැ. එකල්හි ඒ මගියෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙතැ එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට මෙය කීහු. ‘ඉදින් වහන්ස, තොපට බරෙක් නො වේ නම් එක් රැයක් විසුම්හල්හි වසන්නම්හ’යි. ඇවැත්නි. වසන්නහු යැ.
2. එකල්හි ඒ ස්ත්රී තොමෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් කෙරෙහි දක්නා හා මැ පිළිබඳ සිත් ඇත්තී වූ යැ. එකල්හි ඒ ස්ත්රී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළැඹියා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට මෙය කිවු යැ. ස්වාමීනි, ආර්ය්යයෝ මේ මිනිසුන් හා ගැවසුණහු පහසු සේ නො වසන්නාහ. මැනැවැ ස්වාමීනි, මම ආර්ය්යයනට ඇතුළුගබැ හැඳක් පනවම් දැයි. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ තූෂ්ණීම්භාවයෙන් ඉවසූහ. එකල්හි ඒ ස්ත්රී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුනට ඇතුළුගබැ හැඳක් පනවා අබරණ ලා සැරසුණී සුවඳින් සුවඳවත් වූවා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළැඹියා යැ. එළැඹැ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් හට “ස්වාමීනි, ආර්ය්යයෝ අභිරූපයහ, දර්ශනීයහ, ප්රාසාදිකයහ, මම ද අභිරූප වෙමි දර්ශනීය වෙමි ප්රාසාදික වෙමි, ස්වාමීනි, මම ආර්ය්යයනට ප්රජාපතිවූම් නම් මැනැවැ”යි කිවු යැ. මෙසේ කී කල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ නිහඬ වූහ. දෙවන වට ද ... තෙවනවට ද ඒ ස්ත්රී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුනට “ස්වාමීනි, ආර්ය්යයෝ අභිරූපයහ, දර්ශනීයයහ, ප්රාසාදිකයහ, මම ද අභිරූප වෙමි දර්ශනීය වෙමි ප්රාසාදික වෙමි, ස්වාමීනි, ආර්ය්යයෝ මා ද මුළු සම්පත්තිය ද පිළිගනිත්ව”යි කිවු යැ. තෙවන වට ද ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ නිහඬ වූහ.
3. එකල්හි ඒ ස්ත්රී සළුව බහා තබා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් පෙරටුයෙහි සක්මන් කරයි. සිටියි, හිඳියි, ශයනය ද කරයි. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ඉඳුරන් පහතට හෙළා එ මාගම නො මැ බැලූහ. නො ද බිණූහ. එකල්හි ඒ ස්ත්රී “භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්ය්යයෙකැ, භවත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකැ, බොහෝ වූ මේ මිනිස්සු මට සියයෙනුදු දහසිනුදු පඬුරු එවත්: මේ ශ්රමණයෝ කලි මා විසින් තමා මැ යදිනු ලබන්නාහු මා ද මුළු සම්පත්තියද පිළිගන්නට නො කැමැති වෙති”යි සළුව හැඳ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් පා මුල්හි හිසින් වැටී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් හට මෙය කිවු යැ. “ස්වාමීනි, යම්බඳු මම් මෙසේ කළම් ද බාලබවට අනුරූප වැ මූඪබවට අනුරූප වැ අදක්ෂබවට අනුරූප වැ වරද ඒ මා ඉක්ම ගියේ වන. ස්වාමීනි, ඒ මාගේ වරද වරද විසින් මතු සංවරය පිණිස ආර්ය්යයෝ පිළිගනිත්ව’යි. බුහුන, යම්බඳු තෙපි මෙසේ කළවුද, එකැනින් බාලබවට අනුරූප වැ මූඪබවට අනුරූප වැ අදක්ෂබවට අනුරූප වැ වරද ඒ තොප ඉක්ම ගියේ වන. යම් හෙයකින් බුහුන, තෙපි වරද වරද විසින් දැක ධර්ම වූ පරිද්දෙන් පිළියම් කරවු ද, තොප ගේ ඒ වරද ඇපි පිළිගනුම්හ. බුහුන, යමෙක් වරද වරද විසින් දැක ධර්ම වූ පරිද්දෙන් පිළියම් කෙරේ ද, මතු සංවරයට පැමිණේ ද, මේ වනාහි ශාසනයෙහි වැඩීමෙක් මැ යි.
4. එකල්හි ඒ ස්ත්රී තොමෝ එරැය ඉක්මීමෙන් පසු ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ප්රණීත වූ කෑයුතු දෙයින් බිදිය යුතු දෙයින් සියතින් සතප්වා මොනවට පවරා වළඳා නිමවූ පාත්රයෙන් බැහැර කළ අත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් සකසා වැඳ එකත්පස් වැ හින. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයෝ එකත්පස් වැ හුන් එ මාගමට දැහැමි බණින් මොනවට කරුණු දැක්වූහ. මොනවට කරුණු ගැන්වූහ. මොනවට තෙද ගැන්වූහ. මොනවට සතුටු කැරැවූහ. එකල්හි ඒ ස්ත්රී තොමෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් විසින් දැහැමි බණින් මොනවට කරුණු දක්වන ලද්දී මොනවට කරුණු ගන්වන ලද්දී මොනවට තෙද ගන්වන ලද්දී මොනවට සතුටු කරවන ලද්දී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුනට මෙය කිවු යැ, “ඉතා මැනවැ ස්වාමීනි, ඉතා මැනැවැ ස්වාමීනි. යම්සේ යටිහුරු කරන ලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, පිළිසන්වූවක් විවෘත කරන්නේ හෝ වේද, මං මුළා වූවකුට මඟ කියාපාන්නේ හෝ වේ ද, ඇස් ඇතියෝ රූප දකිත්ව යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එසේ මැ ආර්ය්ය අනුරුද්ධයන් විසින් නොයෙක් කරුණෙන් ධර්මය ප්රකාශ කරන ලද්දේ වෙයි. ස්වාමීනි, මම බුදුන් ද දහම් ද බික්සඟන ද සරණ කොට යමි. ආර්ය්ය තෙමේ අද පටන් දිවිහිම් කොට සරණ ගිය උවැසියක කොට මා දරාව”යි කිවු යැ.
5. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවැතට ගොස් මෙ කරුණ භික්ෂූන්හට දැන්වූහ. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පැතුරුවත්.”කෙසේ නම් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයෝ මාගමක හා සමඟ ශයනය කළෝ ද”යි. එකල්හි ඒ භික්ෂූහු භාග්යවතුන්හට තෙල කරුණ දැන්වූහු.