6. 1. 5.
සහසෙය්ය ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු අළවුපුරැ අග්ගාළව සෑයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි උවසුවෝ බණ ඇසීමට ආරාමයට පැමිණෙති. බණ දෙසූ කල්හි ස්ථවිර භික්ෂූහු තමන්තමන්ගේ විහාරයට යෙති. නවක භික්ෂූහු එහි මැ උවටන්හල්හි උවසුවන් හා සමග මුළාසිහි ඇති වැ මනා නුවණ නැති වැ නග්න වැ නන් දොඩමින් නැහැ හඬවමින් ශයනය කෙරෙත්. උවසුවෝ ලමු කොට සිතති. නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් වහන්දෑ මුළාසිහි ඇති වැ මනා නුවණ නැති වැ නග්න වැ නන් දොඩමින් නැහැ හඬවමින් ශයනය කොළෝ”දැ යි. භික්ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ උවසුවන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යැ. යම් භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් භික්ෂූහු අනුපසපනක්හු සමග එක් වැ ශයනය කොළෝදැ”යි.
2. එකල්හි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට තෙල කරුණ දැන් වූහ ... සැබෑ ද මහණෙනි, භික්ෂූහු අනුපසපනක්හු සමග එක් වැ ශයනය කෙරෙද්දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ අනුපසපනක්හු සමග එක් වැ ශයනය කොළෝ ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදයට හෝ නො වෙ යි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් අනුපසපනක්හු සමග එක් වැ ශයනය කරන්නේ නම් පචිති වේ” යැයි.
මෙසේත් භාග්යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. ඉක්බිති භාග්යවතුන් වහන්සේ අළවුපුරැ කැමැති තාක් කල් වැස කොසඹෑ නුවරට චාරිකාවෙහි නික්මුණු සේක. පිළිවෙළින් සැරි සරනුවෝ කොසඹෑ නුවර යම් තැනෙක ද එතනට පැමිණි සේක. භාග්යවතුන් වහන්සේ ඒ කොසඹෑපුරැ ඩෙබර අරමෙහි වසන සේක. භික්ෂූහු ආයුෂ්මත් රාහුලයනට මේ කීහු: ‘ඇවැත්නි, රාහුලයෙනි, භාග්යවතුන් වහන්සේ විසින් අනුපසපනක්හු සමඟ එක් වැ ශයනය නො කළයුතු යැ යි සිකපද පනවන ලද. ඇවැත්නි, රාහුලයෙනි, හෝනා තැනක් දනුව යි. එකල්හි ආයුෂ්මත් රාහුල හෝනා තැනක් නොලබන්නේ වස්කිළියෙහි ශයනය කෙළේ ය. එකල්හි භාග්යවතුන් වහන්සේ රෑ පසොස්සල්හි නැඟී සිට වස්කිළියට එළැඹි සේක. එළැඹැ උකැසිසේක. ආයුෂ්මත් රාහුල ද උකැසී ය. මෙහි කවරෙක්දැ යි? භාග්යවතුන් වහන්ස, මම රහල්මි. රාහුල කුමකට තෙපි මෙහි හුන්නවු ද? එකල්හි ආයුෂ්මත් රාහුල භාග්යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වී ය.
4. එකල්හි භාග්යවතුන් වහන්සේ තෙල කරුණෙහි ලා තෙල අවසරයෙහි ලා දැහැමි බණ වදාරා මහණුන් ඇමතූසේක. මහණෙනි, අනුපසපනක්හු සමග දෙතුන් රැයක් එක් වැ ශයනය කරන්නට අනුදනිමි. මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
යම් මහණෙක් අනුපසපනක්හු සමග දෙතුන් රැයකින් මත්තෙහි එක්වැ ශයනය කරන්නේ නම් පචිති වේ.
5. යෝපන: යම් යම්බඳු ..... භික්ඛු ........... මෙතෙම මෙ අරුතෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි. අනුපසම්පන්න නම්: භික්ෂූහු තබා අවශේෂ වූයේ අනුපසපන් නම් වේ. උත්තරිං දිරත්තතිරත්තං යනු: අයිරා දෙතුන් රැයක්. සහ යනු: එක් වැ. සෙය්යා නම්: හැම පිළිසන් යැ, හැම පසින් පිළිසන් යැ, බෙහෙවින් පිළිසන් යැ, බෙහෙවින් හැම පසින් පිළිසන් යැ. සෙය්යං කප්පෙය්ය යනු: සතර වන දිනයෙහි හිරු අස්තයට ගිය කල්හි අනුපසපනක්හු හොත් කල්හි මහණ නිදා නම් පචිති ඇවැත් වෙයි. මහණහු හොත් කල්හි අනුපසපන නිදා නම් පචිති ඇවැත් වෙයි. දෙදෙනා මැ හෝ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. නැඟිට පුන පුනා හොවිත් නම් පචිති ඇවැත් වේ.
අනුපසපනක්හු කෙරෙහි අනුපසපනැයි සන් ඇතියේ දෙතුන් රැයකින් මත්තෙහි එක් වැ ශයනය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ දෙතුන් රැයකින් මත්තෙහි එක්වැ ශයනය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපනැයි සන් ඇතියේ දෙතුන් රැයකින් මත්තෙහි එක් වැ ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ.
අඩක් පිළිසන් වූයෙහි, අඩක් අවටින් පිළිසන් වූයෙහි, දුකුළා ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපනැයි සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. උපසපනක්හු කෙරෙහි උපසපනැයි සන් ඇතියේ නම් ඇවැත් නැති.
දෙතුන් රැයක් වෙසේ නම්, උනු දෙතුන් රැයක් වෙසේ නම්, දෙරැයක් වැස තෙවන රැයෙහි අරුණට පෙරැ නික්ම නැවත වෙසේ නම්, හැම නොසන් වූයෙහි, හැම නො පිළිසන් වූයෙහි, බෙහෙවින් නො සන් වූයෙහි, බෙහෙවින් නොපිළිසන් වූයෙහි නම්, අනුපසපනක්හු හොත් කල්හි භික්ෂුතෙමේ හිඳී නම්, භික්ෂූහු හොත් කල්හි අනුපසපන් වූයේ හිඳී නම්, දෙදෙනාම හෝ හිඳිත් නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
පස්වැනි පඨමසහසෙය්යශික්ෂාපද යි.