6. 1. 4.
පදසෝධම්ම ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්හි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු උවසුවනට පද විසින් එක් වැ ධර්‍මය කියවති. උවසුවෝ භික්‍ෂූන් කෙරෙහි ගරු නැති වැ බුහුමන් නැති වැ විසම පැවැතුම් ඇති වැ වෙසෙති. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ද ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු උවසුවනට පද විසින් ධර්‍මය කියැවූහු ද, උවසුවෝ භික්‍ෂූන් කෙරෙහි ගරු නැති වැ බුහුමන් නැති වැ විසම පැවතුම් ඇති වැ වෙසෙන්නාහ” යි.
2. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... සැබෑ ද මහණෙනි, තෙපි උවසුවනට පද විසින් එක් වැ ධර්‍මය කියවහු ද උවසුවෝ භික්‍ෂූන් කෙරෙහි ගරු නැති වැ බුහුමන් නැති වැ විසම පැවතුම් ඇති වැ වෙසෙන්නාහයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූහ ... “කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි උවසුවනට පද විසින් ධර්‍මය කියවූහු ද උවසුවෝ භික්‍ෂූන් කෙරෙහි ගරු නැති වැ බුහුමන් නැති වැ විසම පැවැතුම් ඇති වැ වෙසෙන්නාහ. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ ප්‍රසන්නයන්ගේ අතිරේක ප්‍රසාදයට හෝ නොවේ ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් අනුපසපනක්හට පද විසින් ධර්‍මය කියවා නම් පචිති වේ” යයි.
3. යෝපන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙම මෙ අරුතෙහි ලා අදහස් කරනලද භික්‍ෂු යි. අනුපසම්පන්න නම්: මහණ ද මෙහෙණ ද තබා අවශේෂ වූයේ අනුපසම්පන්න නම් වේ.
පදසො නම්: පද යැ අනුපද යැ අන්‍වක්‍ෂර යැ අනුව්‍යඤ්ජන යි. පද නම්: එක් වැ පටන් ගෙනැ එක් වැ නිමවති. අනුපද නම්: වෙන වෙන පටන් ගෙනැ එක් වැ නිමවති. අන්‍වක්ඛර නම්: “රූපං අනිච්චං”යී කියනු ලබන්නේ ‘රූ’ යි එක් වැ කියා නිමව යි. අනුබ්‍යඤ්ජන නම්: “රූපං අනිච්චං” යි කියනු ලබන්නේ ‘වේදනා අනිච්චා’යි ශබ්දය නිකුත් කෙරෙයි, යම් පදයෙකුදු යම් අනුපදයෙකුදු යම් අන්‍වක්‍ෂරයෙකුදු යම් අනුව්‍යඤ්ජනයෙකුදු වේ ද මේ හැම පදසො නම් වේ.
ධම්ම නම්: බුද්ධභාෂිත යැ ශ්‍රාවකභාෂිත යැ ඍෂිභාෂිත යැ දේවභාෂිත යැ අර්‍ත්‍ථොපසංහිත යැ ධර්මොපසංහිත යි.
වාචෙය්‍ය නම්: පදයෙන් කියවා නම් පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වෙයි. අක්‍ෂරයෙන් කියවා නම් අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ.
අනුපසපනක්හු කෙරෙහි අනුපසපනැ යි සන් ඇතියේ පද විසින් ධර්‍මය කියවා නම් පචිති ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ පද විසින් ධර්‍මය කියවා නම් පචිති ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපනැ යි සන් ඇතියේ පද විසින් ධර්‍මය කියවා නම් පචිති ඇවැත් වේ.
උපසපනක්හු කෙරෙහි අනුපසපනැ යි සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි උපසපනැ යි සන් ඇතියේ නම් ඇවැත් නැති.
එක් වැ උදෙසවා ගනුයේ නම්, එක් වැ හදාරනුයේ නම්, බෙහෙවින් පුහුණු ග්‍රන්‍ථයක් කියන්නහු අනු වැ කියා නම්, උසුරුවන්නහු අනු වැ කියා නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සිව්වැනි පදසෝධම්මශික්‍ෂාපද යි.