6. 1. 3.
පෙසුඤ්ඤ ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත්හි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු උපන් භණ්ඩන (කලහ පෙරටු බිණුම්) ඇති උපන් කලහ ඇති විවාදයට පැමිණි මහණුන්හට පෙහෙසුන් බස් එළවත්. මොහුගෙන් අසා මොහුගේ බිඳීමට ඔහුට කියත්. ඔහුගෙන් අසා ඔහුගේ බිඳීමට මොහුට කියත්. එයින් නූපන් භණ්ඩනයෝ ද උපදිත්. උපන් භණ්ඩනයෝ ද බහුලබවට විපුලබවට වැටෙත්. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ කියති. දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු උපන් භණ්ඩන කලහ ඇති විවාදයට පැමිණි මහණුන්හට පෙහෙසුන්බස් එළවූහු ද, මොහුගෙන් අසා මොහුගේ බිඳීමට ඔහුට කීහු ද, ඔහුගෙන් අසා ඔහුගේ බිඳීමට මොහුට කීහු ද, එයින් නූපන් භණ්ඩනයෝ ද උපදිත්. උපන් භණ්ඩනයෝ ද බහුල බවට විපුල බවට වැටෙත්”යැයි.
2. එකල්හි ඒ භික්ෂූහු භාග්යවතුන්හට මෙ කරුණ දැන්වූහ ... සැබෑ ද මහණෙනි, තෙපි උපන් භණ්ඩන කලහ ඇති විවාදයට පැමිණි මහණුන්හට පෙහෙසුන් බස් එළවවු ද? මොහුගෙන් අසා මොහුගේ බිඳීමට ඔහුට කියවු ද? ඔහුගෙන් අසා ඔහුගේ බිඳීමට මොහුට කියවු ද? එයින් නූපන් භණ්ඩනයෝ ද උපදිත්. උපන් භණ්ඩනයෝ ද බහුල බවට විපුල බවට වැටෙත් යැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි උපන් භණ්ඩන කලහ ඇති විවාදයට පැමිණි මහණුන්හට පෙහෙසුන් බස් එළවූවහු ද? මොහුගෙන් අසා මොහුගේ බිඳීමට ඔහුට කීවහු ද? ඔහුගෙන් අසා ඔහුගේ බිඳීමට මොහුට කීවහු ද, එයින් නූපන් භණ්ඩනයෝ ද උපදිත්. උපන් භණ්ඩනයෝත් බහුල බවට විපුල බවට වැටෙත්. හිස්පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදයට හෝ ප්රසන්නයන්ගේ අතිරේක ප්රසාදයට හෝ නො වේ ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු;
මහණුන්ගේ පෙහෙසුන් බස්හි පචිති ඇවැත් වේ යයි.
3. පෙසුඤ්ඤ නම්: දෙ අයුරෙකින් පෙහෙසුන් වෙයි. ප්රිය භාවය කැමැත්තාහට හෝ බිඳුවන අදහස ඇතියාහට හෝ යි. දස අයුරෙකින් පෙහෙසුන් බස් එළවයි. ජාතියෙනුදු නාමයෙනුදු ගෝත්රයෙනුදු කර්මයෙනුදු ශිල්පයෙනුදු ආබාධයෙනුදු ලිඞ්ගයෙනුදු ක්ලේශයෙනුදු ආපත්තියෙනුදු ආක්රොශයෙනුදු යි.
4. ජාති නම්: ජාති දෙකෙකි, හීන ජාති ද උත්කෘෂ්ට ජාති දැ යි. හීන ජාති නම්: සැඬොල්ජාති යැ කුළුපොතුජාති යැ වැදිජාති යැ සොම්මරජාති යැ පුප්සඬුජාති යි. තෙල හීනජාති නම. උත්කෘෂ්ට ජාති නම්: ක්ෂත්රිය ජාති යැ බ්රාහ්මණ ජාති යි. තෙල උත්කෘෂ්ට ජාති නමු ...
5. ආක්රෝශ නම්: ආක්රෝශ දෙකෙකි හීනආක්රෝශ ද උත්කෘෂ්ට ආක්රෝශ දැ යි. හීනාක්රෝශ නම්: ඔටුයෙහි මැඬයෙහි ගොන්හි ගදුබුයෙහි තිරිසන්ගියෙහි නිරිසත්හි තට සුගති නැති, තට දුගති මැ කැමැති වියයුතු යි, යකාරභකාරයන් යොදා කරන ආක්රෝශ යැ කාටකෝටචිකායෙන් (ස්ත්රී පුරුෂ නිමිත්ත කරුණු කොට) කරන ආක්රෝශ යි. තෙලෙ හීනාක්රෝශ නම. උත්කෘෂ්ටාක්රෝශ නම්: පණ්ඩිතයෙහි ව්යක්තයෙහි නැණැතියෙහි බහුශ්රැතයෙහි ධර්මකථිකයෙහි තට දුගති නැති තට සුගති මැ කැමැති වියයුතු යි. තෙලෙ උත්කෘෂ්ටාක්රෝශ නමි.
6. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට “මෙ නම් ඇතියේ තට සැඬොල් යැ කුළුපොතු යැ වැදි යැ සොම්මර යැ පුප්සඩු යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
7. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට “මෙ නම් ඇතියේ තට ක්ෂත්රිය යැ බ්රාහ්මණ යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
8. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට මෙ නම් ඇතියේ තට අවකණ්ණක යැ ජවකණ්ණක යැ ධනිට්ඨක යැ සවිට්ඨක යැ කුලවඩ්ඪක යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
9. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට “මෙ නම් ඇතියේ තට බුද්ධරක්ෂිත යැ ධර්මරක්ෂිත යැ සඞ්ඝරක්ෂිත යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
10. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට මෙ නම් ඇතියේ තට කෝසිය යැ භාරද්වාජ යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
11. උපසපනෙක් උපසපනකුගෙන් අසා උපසපනකුට මෙ නම් ඇතියේ තට ගොතම යැ මොග්ගල්ලාන යැ කච්චාන යැ වාසෙට්ඨ යැ යී බෙණේ”යි පෙහෙසුන් එළවා නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.