6. 1. 2.
ඔමසවාද ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ, අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි සවග මහණහු ප්රියශීල භික්ෂූන් සමග ඩබර කරමින් ප්රියශීල භික්ෂූන් (රළුබස් නමැති හුල් වලින් විනි විදිත්) විද බෙණෙත්: ජාතියෙනුදු නාමයෙනුදු ගෝත්රයෙනුදු කර්මයෙනුදු ශිල්පයෙනුදු ආබාධයෙනුදු ලිඞ්ගයෙනුදු ක්ලේශයෙනුදු ආපත්තියෙනුදු හීන වූ ආක්රෝශයෙනුදු ආක්රෝශ කෙරෙත් ගරහත්. යම් භික්ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔවුහු ලමු කොට සිතති. නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු ප්රියශීල භික්ෂූන් සමග ඩබර කරමින් ප්රියශීල භික්ෂූන්හට ඝටා බෙණෙත් ද, ජාතියෙනුදු නාමයෙනුදු ගෝත්රයෙනුදු කර්මයෙනුදු ශිල්පයෙනුදු ආබාධයෙනුදු ලිඞ්ගයෙනුදු ක්ලේශයෙනුදු ආපත්තියෙනුදු හීන වූ ආක්රොශයෙනුදු ආක්රෝශ කෙරෙත් ද, ගරහත් දැ”යි.
2. එකල්හි ඒ භික්ෂූහු සවග මහණුන්හට නොයෙක් කරුණෙන් වෙසෙසින් ගරහා භාග්යවතුන්හට තෙල කරුණ සැලකළහ. ... සැබෑද මහණෙනි, තෙපි ප්රියශීල භික්ෂූන් සමග ඩබර කරමින් ප්රියශීල භික්ෂූන්හට ඝටාබණනහු ද, ජාතියෙනුදු ... හීන වූ ආක්රෝශයෙනුදු ආක්රෝශ කරවු ද, ගරහවු දැ යි.
සැබැව භාග්යවතුන් වහන්ස,
භාග්යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ ..., “හිස් පුරුෂයෙනි, කෙසේ නම් තෙපි ප්රියශීල භික්ෂූන් සමග ඩබර කරමින් ප්රියශීල භික්ෂූන්හට ඝටා බෙණෙවු ද, ජාතියෙනුදු ... හීන වූ ආක්රෝශයෙනුදු ආක්රෝශ කරවු ද, ගරහවු දැ”යි. හිස්පුරුෂයෙනි, තෙල කරුණ අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ ... නො වේ යැ යි වෙසෙසින් ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමැතූහ.
3. මහණෙනි, මේ පෙර වූ දැයෙකි: තක්සලායෙහි එක්තරා බමුණකුට නන්දිවිසාල නම් වෘෂභයෙක් විය. එකල්හි මහණෙනි, නන්දිවිශාල වෘෂභ එබමුණුහට තෙල බස කී ය. බමුණ, තෝ යා, සිටුහු සමග දහසෙකින් පරදු තබව, “මාගේ වෘෂභ තෙමේ එකට බැඳි ගැල් සියයක් (පෙරැගැල තුබූ තැනට පසුගැල) අදනේ යැ”යි. ඉක්බිති මහණෙනි, එබමුණු සිටුහු සමග දහසෙකින් පරදු තැබී ය. “මාගේ වෘෂභ එකට බැඳි ගැල් සියයක් අදනේ යැ යි”. ඉක්බිති මහණෙනි, එබමුණු ගැල් සියයක් එකට බැඳ නන්දිවිසාල ගවයා යොදාලා අදු කුළ, උසුල කුළැ යි කී ය. එකල්හි මහණෙනි, නන්දිවිශාල බලීවර්ද තෙමේ එහි ම සිටියේ ය. එකල්හි මහණෙනි, එබමුණු දහසෙකින් පැරදුණේ (දොම්නසින්) සිතමින් සිටියේ ය.
4. එකල්හි නන්දිවිසාල වෘෂභ තෙමේ එබමුණුහට බමුණ, තෙපි කුමකට සිතිවිලිපර වැ සිටියාව යි. තෙල කී ය. භවත, මම තා විසින් දහසෙකින් පරදවන ලදුයෙම් ද එහෙයිනැයි කී ය. බමුණ, කුමකට තෙපි නො කුළු මා කුළෙහි යන බසින් (අවමනට) පමුණුවාලූහු ද, යව බමුණ, තෙපි සිටුහු සමග දෙදහසෙකින් පරදු තබව, “මාගේ වෘෂභ එකට බැඳි ගැල් සියයක් අදනේ යැ”යි. නො කුළු මා කුළෙහි යන බසින් නො ද (අවමනට) පමුණුවාලව යි කී ය. එකල්හි මහණෙනි ඒ බමුණු සිටුහු සමඟ දෙදහසෙකින් පරදු තැබී ය; ‘මාගේ වෘෂභ එකට බැඳි ගැල් සියයක් අදනේ යැ’යි
5. ඉක්බිති මහණෙනි, ඒ බමුණු ගැල් සියයක් එකට බැඳ නන්දිවිසාල ගවයා යොදාලා “අදු භද්රය, උසුල භද්රය”යි මෙසේ කී ය. එකල්හි ම මහණෙනි, නන්දිවිසාල වෘෂභ එකට බැඳි ගැල් සියය ඇදලී ය.
6. මනවඩන බස් ම කියන්නේ ය, කිසි කලෙක අමනාපබස් නො කියන්නේ ය, මනාප බස් බණන්නහුගේ මහත් බර ඉසිලී ය, ඔහු ලවා ධනය ද ලබවාලී ය, එයින් සතුටු සිතැත්තේ ද වී”යැයි.
එදවස් මහණෙනි, හෙළා දැකීම ගැරහීම මට අමනාප වී යැ. දැන් හෙළාදැකීම ගැරහීම මනාප වෙතියි කියනු කිම? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ ... නො වේ. මහණෙනි, මෙසේ මේ සිකපදය ද උදෙසවු:
ඔමසවාදයෙහි පචිති වේයයි.
7. ඔමසවාද නම්: දස අයුරෙකින් ඝටා බෙණෙයි: ජාතියෙනුදු නාමයෙනුදු ගෝත්රයෙනුදු කර්මයෙනුදු ශිල්පයෙනුදු ආබාධයෙනුදු ලිඞ්ගයෙනුදු ක්ලේශයෙනුදු ආපත්තියෙනුදු ආක්රෝශයෙන දැ යි.
ජාති නම්: හීන ජාති ද උත්කෘෂ්ට ජාති දැ යි ජාති දෙකෙකි. හීන ජාති නම්; සැඬොල් ජාති යැ කුළුපොතු ජාති යැ වැදි ජාති යැ සොම්මර ජාති යැ පුප්සඩු ජාති යි. තෙල හීන ජාති වෙයි. උත්කෘෂ්ට ජාති නම්: ක්ෂත්රිය ජාති යැ බ්රාහ්මණ ජාති යි. තෙල උත්කෘෂ්ට ජාති නම.
නාම නම්: හීන නාම හා උත්කෘෂ්ටනාම හා නාම දෙකෙකි. හීන නාම නම්: අවකණ්ණක යැ ජවකණ්ණක යැ, ධනිට්ඨක යැ, සවිට්ඨක යැ, කුලවඩ්ඩක යි. ඒ ඒ දනවු හි පහත් කොට දන්නා ලද අවමන් කොට දන්නා ලද පිළිකුල් කරන ලද පරිභව කරන ලද ගරු නො කරන ලද හෝ නාම යි. තෙල හීන නාම වෙ යි. උත්කෘෂ්ට නාම නම්: බුද්ධ ප්රතිසංයුක්ත වූ ධර්මප්රතිසංයුක්ත වූ සඞ්ඝප්රතිසංයුක්ත වූ නාම හෝ ඒ ඒ දනවුහි පහත් කොට නොදන්නාලද අවමන් කොට නොදන්නා ලද පිළිකුල් නො කරනලද පරිභව නො කරන ලද ගරු කරන ලද හෝ නාම යි. තෙල උත්කෘෂ්ටනාම නම.