8.
චීවරක්ඛන්‍ධකය
1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක. ඒ කාලයෙහි වේසාලි නගරය සමෘද්ධ වූයේ ද සැපතින් පිරී ගියේ ද වේ. බොහෝ ජනයන් ඇත්තේ මිනිසුන්ගෙන් ගැවසී ගත්තේ සුව සේ ලැබිය හැකි භික්‍ෂා ඇත්තේ ද වේ. සත්දහස්සත්සිය සතක් ප්‍රාසාදයෝ ද වෙත්. සත්දහස්සත්සියසතක් කුළුගෙවල් ද වෙත්. සත්දහස්සත්සිය සතක් ආරාම ද වෙත්. සත්දහස්සත්සියසතක් පොකුණු ද වෙත්. අම්බපාලි ගණිකාව ද මනා රූ ඇත්තී දැකුම් කලු ය. ප්‍රසාදජනක වූවා උතුම් වූ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වූවා වේ. නැටීමෙහි ද ගී කීමෙහි ද වැයීමෙහි ද සමත් වූවා වේ. ප්‍රයෝජන ඇති ඇති මිනිසුන් විසින් වෙත යන ලද්දී ය. රැයකට කහවණු පණසක් ගෙණ යෙයි. ඇය කරණ කොට වේසාලිය බොහෝ සෙයින් හොබියි.
2. එකල්හි රජගහනුවර වැසි කෙළෙඹි සමූහයක් තෙමේ කිසියම් කටයුත්තක් නිසා වේසාලියට ගියේ ය. රජගහ නුවර වැසි කෙළෙඹියෝ සමෘද්ධිමත් වූ සම්පූර්‍ණ වූ බොහෝ ජනයා ඇති මිනිසුන්ගෙන් ගැවසී ගත් සුව සේ ලැබිය හැකි භික්‍ෂා ඇති, සත්දහස්සත්සියසතක් ප්‍රාසාද ද, සත්දහස්සත්සියසතක් කුළුගෙවල් ද, සත්දහස්සත්සියසතක් ආරාම ද, සත්දහස්සත්සියසතක් පොකුණු ද, මනා රූ ඇති දැකුම්කලු වූ ප්‍රසාදජනක වූ උතුම් වූ, වර්‍ණසම්පත්තියෙන් යුත් නැටීමෙහි ගැයීමෙහි වැයීමෙහි දක්‍ෂ වූ, ප්‍රයෝජන ඇති ඇති මිනිසුන් විසින් වෙත එළඹෙන, රැයකට කහවණු පණසක් ගෙණ යන්නා වූ (=අය කරණ) අම්බපාලී ගණිකාව ද, ඇය නිසා බොහෝ සෙයින් හොබනා වූ වේසාලිය ද දුටුවෝ ය.
3. ඉක්බිති රජගහ නුවර වැසි කෙළෙඹි සමූහය වේසාලියෙහි ඒ කටයුත්ත අවසන් කොට නැවැත රජගහ නුවරට පෙරළා ආයේ ය. මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජු වෙත ගියේය. ගොස් මගධේශ්වර වූ සේනා ඇති බිම්බිසාර රජුහට “දේවයන් වහන්ස, වේසාලිය සමෘද්ධිමත් ය. සම්පූර්‍ණය. බොහෝ ජනයා ඇත්තී ය. මිනිසුන්ගෙන් ගැවසී ගත්තී ය. සුවසේ ලැබිය හැකි භික්‍ෂා ද ඇත්තී ය. සත්දහස්සත්සියසතක් ප්‍රාසාදයෝ ද වෙත්. සත්දහස්සත්සියසතක් කුළුගෙවල් ද වෙත්. සත්දහස්සත්සියසතක් ආරාමයෝ ද වෙත්, සත්දහස්සත්සියසතක් පොකුණු ද වෙත්. අම්බපාලි ගණිකාව ද මනා රූ ඇත්තී ය. දැකුම්කලු ය. ප්‍රසාදජනක ය. උතුම් වූ වර්‍ණසම්පත්තියෙන් යුක්ත ය. නැටීමෙහි ගැයීමෙහි වැයීමෙහි දක්‍ෂ ය. ප්‍රයෝජන ඇති ඇති මිනිසුන් විසින් වෙත එළඹෙන ලද්දී ය. රැයකට පණසක් ගෙණ යයි. (=අය කරයි). ඇය නිසා වේසාලිය බොහෝ සෙයින් හොබනී ය. “දේවයන් වහන්ස, අපිත් ගණිකාවක තබන්නෙමු නම්, යෙහෙකැ” යි කීයේ ය. “කොලෙනි, එසේ නම්, තෙපි එබඳු වූ යම් ගණිකාවක තබන්නහු නම්, එබඳු වූ කුමාරිකාවක සොයා දනිවු” යී රජතෙම කී ය.
4. ඒ කාලයෙහි රජගහ නුවර සාලවතී නම් කුමාරිකා තොමෝ මනා රූ ඇත්තී ය. දැකුම්කලු ය. ප්‍රසාදජනක ය. උතුම් වූ වර්‍ණසම්පත්තියෙන් යුක්ත වූවා වේ. එහෙයින් රජගහනුවර වැසි කෙළෙඹිසමූහය සාලවතී කුමරිය ගණිකාවක කොට තැබීය. ඉක්බිති සාලවතී ගණිකාව නො බෝ දවසකින් ම නැටීමෙහි ගැයීමෙහි වැයීමෙහි දක්‍ෂ වූවා ප්‍රයෝජන ඇති ඇති මිනිසුන් විසින් එළඹෙන ලද්දී ය. රැයකට කහවණු සියය බැගින් ගෙණ යයි.
5. ඉක්බිති සාලවතී ගණිකාව නො බෝ කලකින් ම ගැබිනී වූවා ය. එකල්හි සාලවතී ගණිකාවට “ස්ත්‍රිය ගැබිනී වූවා පුරුෂයන්ගේ මන නො වඩන්නී ය. ‘සාලවතී ගණිකාව ගැබිනී වූවා’ යි ඉදින් කිසිවෙක් මා දන්නේ නම්, මාගේ සියලු සත්කාරය පිරිහෙන්නේ ය. මම ගිලන්මි’ යි දන්වන්නෙම් නම්, යෙහෙකැ”යි සිත් වි ය. ඉක්බිති සාලවතී ගණිකාව “කොල දොරටුපාලය, කිසි පුරුෂයෙක් (මා වෙත) නො පැමිණේවා. යමෙක් මා ගැණ විචාරා නම්, ගිලන් වූවා යි දන්වාලව” යි දොරටු පාලයාට අණ කළා ය. ඒ දොරටුපල්තෙමේ “ආර්‍ය්‍යාවෙනි, එසේ ය” යි සාලවතී ගණිකාවට පිළිවදන් දුන්නේ ය. ඒ අතර සාලවතී ගණිකාව ඒ දරුගැබ මේරීමට පැමිණීමෙන් පුතකු වැදුවා ය. එකල්හි සාලවතී ගණිකාව “කෙල්ල මේ දරුවා දිරූ කුල්ලෙක බහා කසළගොඩෙක ලව” යි දාසියට අණ කළා ය. “ආර්‍ය්‍යාව, එසේ ය” යි ඒ දාසිය සාලවතී ගණිකාවට පිළිවදන් දී ඒ දරු දිරූ කුල්ලෙක බහා ගෙණ ගොස් කසළගොඩෙක බැහුවා ය.
6. ඒ වේලෙහි අභයරාජකුමාර තෙමේ කලින් ම (=උදෑසනින්) රාජෝපස්ථානයට යන්නේ කවුඩන් විසින් වට කර ගත් ඒ දරු දුටුයේ ය. දැක “කොලෙනි, කවුඩන් විසින් වට කර ගත් මෙය කුමක් දැ” යි මිනිසුන් විචාළේ ය. “දේවයන් වහන්ස, දරුවෙක”. “කොලෙනි, ජීවත් වේ ද?”. “දේවයන් වහන්ස, ජීවත් වේ”. “කොලෙනි, එසේ නම් ඒ දරු අපගේ අන්තඃපුරයට ගෙණ ගොස් පෝෂණය කරන්නට කිරිමවුන්ට දෙවු”. “දේවයන් වහන්ස, එසේ ය” යි ඒ මිනිස්සු අභයරාජකුමාරයාහට පිළිවදන් දී ඒ දරු අභයරාජකුමාරය ගේ අන්තඃපුරයට ගෙණ ගොස් “(මේ දරු) පෝෂණය කරවු” යි කිරිමවුන්ට දුන්හ. ඒ දරුවාට ජීවත් වේ යි යන අරුතෙන් “ජීවක” යි නම් කළහ. අභයකුමරුන් විසින් පෝෂණය කරණ ලද්දේ නු යි “කෝමාරභච්ච” යි නම් කළහ.
7. ඉක්බිති ජීවක කෝමාරභච්ච තෙමේ නො බෝ කලකින් ම නුවණැතිබවට පැමිණියේ ය. එකල්හි ජීවක කෝමාරභච්ච තෙමේ අභයරාජකුමාරයන් වෙත ගියේ ය. ගොස්, “දේවයන් වහන්ස, මාගේ මව කවරී ද? පියා කවරෙක් දැ” යි අභයරාජකුමාරයන්ගෙන් ඇසී ය. “සගය, ජීවකය, මම ද තාගේ මව ගැණ නො ද නිමි. එහෙත් මම තාගේ පියා වෙමි. මා විසින් පෝෂණය කරවන ලද්දෙහි ය” යි. එකල්හි ජීවක කෝමාරභච්චයාහට “මේ රාජකුලයෝ ශිල්ප නූගතකු විසින් (ශිල්ප නො ඉගෙණ) ඇසුරු කොට ජීවත් වන්නට සුකර නො වෙත්. මම ශිල්ප ඉගෙණ ගන්නෙම් නම්, යෙහෙකැ” යි සිත් වි ය.