මහවග
ප්‍රථම භාගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
මහාඛන්‍ධකය
1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංඉවුර සමීපයෙහි වූ බෝරුක්මුල්හි අභිසම්බෝධියට පැමිණ ප්‍රථමයෙන් (=බුදු ව පළමු වර) වැඩ වාසය කරණ සේක.
2. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ බෝරුක්මුල්හි සත්දවසක් මුළුල්ලෙහි විමුක්තිසුඛය (=පලසමවත් සුව) විඳින සේක් එක ම පර්‍ය්‍යඞ්කයෙන් වැඩහුන් සේක.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රෑ පෙරයම මුළුල්ලෙහි ප්‍රතීත්‍යසමුත්පාදය අනුලෝමප්‍රතිලෝමවශයෙන් (=මුල සිට අගටත් අග සිට මුලටත්) මෙනෙහි කළ සේක.
4. අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමය ද රූපය ද නාමරූපය ද වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ.
5. අවිද්‍යාවගේ ම අනවශේෂ විරාග නම් වූ නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ. නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ. ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශනිරෝධය වේ. ස්පර්‍ශනිරෝධයෙන් වේදනා නිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරෝධයෙන් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අර්‍ත්‍ථය දැන එවේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක:–
“යම් කලෙක කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුත් ධ්‍යාන කරන්නා වූ බැහැර කළ පව් ඇති රහතුන් වහන්සේට හෙතුප්‍රත්‍යයධර්‍මයෝ ප්‍රකට ව වැටහෙත් ද, එකල්හි උන්වහන්සේ අවිද්‍යාදි හේතුවෙන් සහේතුක වූ ධර්‍මය දනිති. එහෙයින් ඒ රහතුන් වහන්සේගේ සියලු සැක දුරු වේ.”
7. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි මධ්‍යමයාමය මුළුල්ලෙහි ප්‍රතීත්‍යසමුත්පාදය අනුලෝමප්‍රතිලෝමවශයෙන් මෙනෙහි කළ සේක: අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූපය වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ. –පෙ– මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ –පෙ– නිරෝධය වේ.
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අර්‍ත්‍ථය දැන එවේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක:–
”යම් කලෙක්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තා වූ ධ්‍යාන කරන්නා වූ බැහැර කළ පව් ඇති රහතුන් වහන්සේට හෙතුප්‍රත්‍යයධර්‍මයෝ ප්‍රකට ව වැටහෙත් ද, එකල්හි අවිද්‍යාදිප්‍රත්‍යයයන්ගේ ක්‍ෂය වීම දැනගත් හෙයින් ඒ රහතුන් වහන්සේගේ සියලු සැකයෝ දුරු වෙත්.”
9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පැසුළුයම මුළුල්ලෙහි ප්‍රතීත්‍යසමුත්පාදය අනුලෝමප්‍රතිලෝමවශයෙන් මෙනෙහි කළ සේක: අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ. –පෙ– මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ –පෙ– නිරෝධය වේ.
10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අර්‍ත්‍ථය දැන එවේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක:–
“යම් කලෙක්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තා වූ ධ්‍යාන කරන්නා වූ බැහැර කළ පව් ඇති රහතුන් වහන්සේට හෙතුප්‍රත්‍යයධර්‍මයෝ ප්‍රකට ව වැටහෙත් ද, එකල්හි ඒ රහතුන් වහන්සේ මරසෙනඟ පිඹ හරිමින් අහස බබුළුවන්නා වූ හිරු මෙන්, සිටින සේක.”
බෝධිකථාව නිමි.