63. “විශාඛාවෙනි, තී කිනම් කරුණක් දක්නී තථාගතයන් වෙතින් වර අටක් ඉල්වහි ද?”. “ස්වාමීනි, මම මෙහි ‘කෙල්ල, යව, ආරාමයට ගොස් ‘ස්වාමීනි, කල් පැමිණ තිබේ. බත් නිමියේ’ යි කල් දන්වා ලව’ යි දාසියට අණ කෙළෙමි. ඉක්බිති ස්වාමීනි, ඒ දාසිය ආරාමයට ගොස් බැහැර කළ සිවුරු ඇති ව වැසිදියෙන් කය තෙමන්නා වූ භික්‍ෂූන් දුටුවා ය. දැක ‘ආරාමයෙහි භික්‍ෂූහු නැත. ආජීවකයන් කය තෙමති’ යි (සිතා) මා වෙත පැමිණියා ය. පැමිණ ‘ආර්‍ය්‍යාවෙනි, ආරාමයෙහි භික්‍ෂූහු නැත. ආජීවකයන් කය තෙමති’ යි. මට සැළකළා ය. ස්වාමීනි, නග්න භාවය නො හොබී. ලජ්ජා සහිත ය. පිළිකුල් ය. ස්වාමීනි, මම මේ කරුණ දක්නී දිවි හිම් කොට සඞ්ඝයාහට වැසිසළු දෙන්නට කැමැත්තෙමි.
64. “නැවත ද, ස්වාමීනි, ආගන්තුකභික්‍ෂු තෙමේ (මෙහි) වීථින්හි දක්‍ෂ නො වූයේ ගෝචරස්ථානයන්හි දක්‍ෂ නො වූයේ විඩා පත් වූයේ පිඬු පිණිස හැසිරේ. ඒ භික්‍ෂු තෙමේ මාගේ ආගන්තුකබත වළඳා වීථින්හි දක්‍ෂ (පුරුදු) වූයේ ගෝචරස්ථානයන්හි දක්‍ෂ වූයේ (යා යුතු නො යා යුතු තැන් දන්නේ) විඩාපත් නො වූයේ පිඬු පිණිස හැසිරෙන්නේ ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාහට ආගන්තුකබත් දෙන්නට කැමැත්තෙමි.
65. “නැවත ද ස්වාමීනි, ගමිකභික්‍ෂු තෙමේ තමාගේ බත සොයන්නේ සත්‍වායෙන් (=තවලම් නඩයෙන්) හෝ අත්හැරෙන්නේ ය. යම් තැනෙක විසීමට යනු කැමැත්තේ හෝ වන්නේ ද, එතැනට නො කල්හි පැමිණෙන්නේ ය. විඩා පත් වූයේ මග යන්නේ ය. ඒ භික්‍ෂු තෙමේ මාගේ ගමිකබත වළඳා සත්‍වායෙන් නො වෙන් වන්නේ ය. යම්තැනක විසීමට යනු කැමැති වන්නේ ද, එතැනට සුදුසු කාලයෙහි පැමිණෙන්නේ ය. විඩා පත් නො වූයේ මග යන්නේ ය. ස්වාමීනි, මම මේ කරුණ දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාහට ගමිකබත් දෙන්නට කැමැත්තෙමි.
66. “නැවත ද ස්වාමීනි, හිත වූ බොජුන් නො ලබන්නා වූ ගිලන් මහණහුගේ ආබාධය හෝ වැඩෙන්නේ ය. කලුරිය කිරීම හෝ වන්නේ ය. මගේ ගිලන්බත වැළඳූ ඒ භික්‍ෂූහුගේ ආබාධය නො වැඩෙන්නේ ය. කලුරිය කිරීම නො වන්නේ ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාහට ගිලන්බත් දෙන්නට කැමැත්තෙමි.
67. “නැවත ද ස්වාමීනි, ග්ලානෝපස්ථායකභික්‍ෂු තෙමේ තමාගේ බත සොයන්නේ ගිලනහුට ඉර නැගි කල්හි බත් ගෙණ යන්නේ ය. බත් සිඳීම කරන්නේ ය. ඒ ග්ලානෝපස්ථායකභික්‍ෂු තෙමේ මාගේ ග්ලානෝපස්ථායක බත වළඳා ගිලනහුට සුදුසු කාලයෙහි බත් ගෙණ යන්නේ ය. බත් සිඳීම නො කරන්නේ ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවිඇති තාක් සඞ්ඝයාහට ග්ලානෝපස්ථායකබත් දෙනු කැමැත්තෙමි.
68. “නැවත ද ස්වාමීනි, හිත වූ බෙහෙත් නො ලබන්නා වූ ගිලන් වූ මහණහුගේ ආබාධය හෝ වැඩෙන්නේ ය. කලුරිය කිරීම හෝ වන්නේ ය. මාගේ ගිලන්බෙහෙත් වැළඳූ ඒ භික්‍ෂූහුගේ ආබාධය නො වැඩෙන්නේ ය. කලුරිය කිරීම නො වන්නේ ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාහට ගිලන්බෙහෙත් දෙනු කැමැත්තෙමි.
69. “නැවත ද ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අන්‍ධකවින්‍ද නගරයෙහි දී අනුසස්දසයක් දකිමින් කැඳ අනුදන්නා ලද්දේ ය. ස්වාමීනි, මම මේ අනුසස් දක්නී දිවි ඇති තාක් සඞ්ඝයාට නිතිකැඳ දෙනු කැමැත්තෙමි.
70. “ස්වාමීනි, මෙහි මෙහෙණහු අචිරවතීනදියෙහි වෙසඟනන් සමග නග්න ව එක් තොටෙහි ස්නානය කෙරෙත්. ස්වාමීනි, ඒ වෙසඟනෝ මෙහෙණන්ට ‘ආර්‍ය්‍යාවෙනි, ඉතා තරුණ වූ ඔබට බඹසර පුරුදු කිරීමෙන් කිනම් ප්‍රයෝජනයෙක් ද? කාමයෝ පරිභෝග කළ යුත්තෝ නො වෙත් ද? යම් කලෙක දිරුණාහු වන්නහු ද, එකල්හි බඹසරෙහි හැසිරෙවු. එසේ ඇති කල්හි ඔබ විසින් උභයාර්‍ත්‍ථයෝ ම ප්‍රයෝජන ගන්නා ලද්දෝ වන්නාහු ය’ යි වෙහෙසූහ. ස්වාමීනි, වෙසඟනන් විසින් වෙහෙසනු ලබන ඒ මෙහෙණහු මංකු (ලජ්ජිත) වූහ. ස්වාමීනි, නග්න භාවය මාගමට නො හොබී. ලජ්ජා සහිත ය. පිළිකුල් ය. ස්වාමීනි, මම මේ කාරණය දක්නී දිවි තෙක් මෙහෙණ සඟනට දියසළු දෙනු කැමැත්තෙමි” යි කීවා ය.