7.
කඨිනක්ඛන්ධකය
1. එසමයෙහි භාග්යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
2. එකල්හි පාවානුවරවැසි තිසක් පමණ භික්ෂූහු සියල්ලෝ ආරණ්යක වූවාහු සියල්ලෝ පිණ්ඩපාතික වූවාහු සියල්ලෝ පංසුකූලික වූවාහු සියල්ලෝ තෙචීවරික වූවාහු භාග්යවතුන් වහන්සේ දක්නට සැවැත් නුවරට යන්නාහු වස් එළඹීම ලං වූ කල්හි සැවැත්නුවර වස් එළඹෙන්නට යෑමට නො හැකි වූහ. අතරමග සාකේතනුවර වස් එළඹියහ.
3. ඔහු “භාග්යවතුන් වහන්සේ අපගේ සමීපයෙහි ම මෙයින් සයොදුනක් ගිය තැන්හි වැඩ වසන සේක. අපි භාග්යවතුන් වහන්සේ දක්නට නො ලබමු” යි කළකිරුණෝ ම වස් විසූහ.
4. ඉක්බිති වස් වැස නිම කළ ඒ භික්ෂූහු තෙමසක් ඇවෑමෙන් පවාරණය කළ කල්හි වැසි වසිද්දී දිය ගැල්මෙන් (වළ ගොඩ) පිරුණු කල්හි ගොහොරු මඩෙහි දියෙන් පිරුණු (තෙමුනු) සිවුරුවලින් යුක්ත ව ක්ලාන්තස්වභාව ඇත්තෝ සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි භාග්යවතුන් වහන්සේ වෙතට ගියහ. ගොස් භාග්යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ.
5. භාග්යවත් බුදුවරුන්ට ආගන්තුක භික්ෂූන් සමග සතුටු වීම පුරුදු ම ය. එහෙයින් භාග්යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ගෙන් “මහණෙනි, කිම, ඉවසිය හැකි ද? කිම, යැපිය හැකි ද? කිම, සමගි වූවහු සතුටු වූවහු විවාද නො කරන්නහු පහසුවෙන් වස් වුසූහු ද? ආහාරයෙන් වෙහෙසට පත් නො වූවහු දැ” යි අසා වදාළ සේක.
6. “භාග්යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, අපි සමගි ව සතුටු ව විවාද නො කරමින් වස් වුසුම්හ. ආහාරයෙන් ද වෙහෙසට පත් නො වූම්හ. ස්වාමීනි, මෙහි අපි පාවානුවර වැසි තිසක් පමණ වූ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ දක්නට සැවැත්නුවර එන්නමෝ වස් එළඹීම ලං වූ කල්හි සැවැත්නුවර වස් එළඹීමට පැමිණෙන්නට නො හැකි වූම්හ. අතරමග සාකේත නුවර වස් එළඹියෙමු. ඒ අපි ‘භාග්යවතුන් වහන්සේ අපගේ සමීපයෙහි ම මෙයින් සයොදුනක් ගිය තැන වැඩ වසන සේක. අපි භාග්යවතුන් වහන්සේ දක්නට නො ලබමු’ යි කළකිරුණාහු ම වස් වුසූම්හ. ස්වාමීනි, ඉක්බිති අපි වස් වැස නිම කළෝ තෙමසක් අවෑමෙන් පවාරණය කළ කල්හි වැහි වහිද්දී දිය ගැල්මෙහි ගොහොරු මඩෙහි දියෙන් පිරුණු සිවුරු වලින් යුක්ත ව ක්ලාන්තස්වභාවය ඇත්තමෝ දීර්ඝමාර්ගයට බැස ආවෙමු” යි.
7. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, වස් වැස නිම කළ භික්ෂූන්ට කඨින ඇතිරීම අනුදනිමි” යි “මහණෙනි, ඇතිරූ කඨිනය ඇති (කෙළින් සිවුරු අතුළ) භික්ෂූන්ට අනාමන්තවාරය (නො විචාරා ගම් වැදීම), අසමාදානචාරය (තුන් සිවුරු නො ගෙණ යෑම), ගණභෝජනය (සමූහ භෝජනය), කැමැති පමණ සිවුරු පිළිගැණීම, එහි කඨිනය ඇතිරූ වෙහෙරෙහි යම්තාක් සිවුරු ලැබීමෙක් වේ ද, එය ද ඔවුන්ට (අයත්) වන්නේ ය යන පස කැප වන්නේ ය. මහණෙනි, අතුළ කඨිනය ඇති භික්ෂූන්ට මේ පස කැප වන්නේ ය.
8. මහණෙනි, කඨිනය මෙසේ ඇතිරිය යුතු ය. ව්යක්ත වූ ප්රතිබල භික්ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු ය.
“ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයාට මේ කඨිනවස්ත්රයක් ලැබුනේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මේ කඨිනවස්ත්රය මෙනම් ඇති මහණහුට කඨිනය ඇතිරීමට දෙන්නේ ය. මේ දැන්වීම ය.
“ස්වාමීනි සඞ්ඝතෙමේ මාගේ වචනය අසාවා. සඞ්ඝයාට මේ කඨින වස්ත්රයක් ලැබුනේ ය. සඞ්ඝ තෙමේ මේ කඨිනවස්ත්රය මෙනම් ඇති මහණහුට කඨිනය ඇතිරීමට දෙයි. යම් ආයුෂ්මතකුහට මේ කඨින වස්ත්රය මෙනම් ඇති මහණහුට කඨිනය ඇතිරීමට දීම රුචි වේ නම්, හෙ තෙමේ නිශ්ශබ්ද වන්නේ ය. යම් ආයුෂ්මතකුහට රුචි නො වේ නම්, හෙ තෙමේ කියන්නේ ය.
“සඞ්ඝයා විසින් මේ කඨිනවස්ත්රය මෙනම් ඇති මහණහුට කඨිනය ඇතිරීමට දෙන ලද්දේ ය. සඞ්ඝයාට (එය) රුචි වේ. එහෙයින් නිශ්ශබ්ද වේ. මෙය මෙසේ දරමි” යි.
9. මහණෙනි, කඨිනය මෙසේ අතුළේ මෙසේ නො අතුළේ වේ. මහණෙනි, කඨිනය කෙසේ නො අතුළේ වේ ද, ලකුණු කළ (සිවුරේ දිග පළල ගත්) පමණින් කඨිනය නො අතුළේ වේ. වස්ත්රය සේදූ පමණින් කඨිනය නො අතුළේ වේ. කඩ නියම කිරීම් පමණින් කඨිනය නො අතුළේ වේ. කඩ කැපීම් පමණින් කඨිනය නො අතුළේ වේ. හිස් (බොරු) නූල් ඇදීම් පමණින් කඨිනය නො අතුළේ වේ. දික් මැහුම් මැසීම් පමණින් කඨිනය නො අතුළේ වේ. අතු බැඳුම් (මූට්ටු කිරීම්) පමණින් කඨිනය නො අතුළේ වේ. දෙපට එකට මැසීම් පමණින් කඨිනය නො අතුළේ වේ. පිට නුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ. ඇතුල් නුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ. අමුතු රෙදිපටක් ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ. එක් වරක් පඬු පෙවූ පමණින් කඨිනය නො අතුළේ වේ. මේ වස්ත්රයෙන් කඨිනය අතුරමි යි නිමිති කොට ලත් වස්ත්රයෙන් කඨිනය නො අතුළේ වේ. අනුසස් කීමෙන් ලත් වස්ත්රයෙන් කඨිනය නො අතුළේ වේ. තාවකාලික වස්ත්රයෙන් කඨිනය නො අතුළේ වේ. තැන්පත් කොට (එදින ම නො මසා) තුබූ වස්ත්රයෙන් කඨිනය නො අතුළේ වේ. (රැය ඉක්ම යෑමෙන්) නිසඟි වූ වස්ත්රයෙන් කඨිනය නො අතුළේ වේ. කප්බිඳු නො තැබූ වස්ත්රයෙන් කඨිනය නො අතුළේ වේ. සඟළ සිවුර හැර, උතුරුසඟ සිවුර හැර, අඳනය හැර (අනෙක් වස්ත්රයකින්) කඨිනය නො අතුළේ වේ. එදවස ම කපන ලද මැඩිලි සහිත කරණ (මැඩිලි දක්වා මසන) ලද කඩපසක් හෝ වැඩියක් හෝ කඩ ඇති සිවුරක් හැර අනෙකකින් කඨිනය නො අතුළේ වේ. පුද්ගලයකුගේ ඇතිරීමෙන් හැර (සඞ්ඝයාගේ හෝ ගණයාගේ ඇතිරීමෙන්) කඨිනය නො අතුළේ වේ. කඨිනය මනා කොට ම අතුරණ ලද වුවත් එය වස් විසූ විහාර සීමාවෙන් බැහැර සිටියෙක් අනුමෝදන් වේ ද, මෙසේ ද කඨිනය නො අතුළේ වේ. මහණෙනි, මෙසේ කඨිනය නො අතුළේ වේ.
(ආකාර සූවිස්සෙකි.)