6.
භේසජ්ජක්ඛන්‍ධකය
1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වාසය කරණ සේක. එකල්හි ශරත්කාලයෙහි හටගත් පිත්තරෝගයෙන් පහස්නා ලද භික්‍ෂූන්හට බොන ලද කැඳ ද (නො දිරීමෙන්) නැගෙයි. අනුභව කළ බත් ද (නො දිරීමෙන්) නැගෙයි. ඒ හේතුවෙන් ඒ භික්‍ෂූහු වෑරුණු රළු සිරුරු ඇත්තාහු දුර්වර්‍ණ වූවාහු ඉතා පඬුවන් වූවාහු නහර ඉල්පුනු සිරුරු ඇත්තාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ වෑරුණු රළු සිරුරු ඇති දුර්වර්‍ණ වූ ඉතා පඬුවන් වූ නහර ඉල්පුනු සිරුර ඇති ඒ භික්‍ෂූන් දුටු සේක. දැක “ආනන්‍දය, දැන් භික්‍ෂූහු කුමක් හෙයින් වෑරුණු රළු සිරුරු ඇත්තාහු දුර්වර්‍ණ වූවාහු ඉතා පඬුවන් වූවාහු නහර ඉල්පුනු සිරුර ඇත්තාහු දැ” යි අනඳතෙරුන් ඇමතූ සේක.
2. “ස්වාමීනි, දැන් ශරත්කාලයෙහි වූ රෝගයෙන් පහස්නා ලද භික්‍ෂූන්හට බොන ලද කැඳ ද උඩට එයි. අනුභව කළ බත් ද උඩට එයි. ඒ හේතුවෙන් ඒ භික්‍ෂූහු වෑරුණාහු ය. රළු වූ සිරුරු ඇත්තෝ ය. දුර්වර්‍ණ වූවෝ ඉතා පඬුවන් වූවෝ ය. නහර ඉල්පුනු සිරුරු ඇත්තෝ ය.”
3. ඉක්බිති රහෝගත වූ විවේකයට පැමිණ හුන් භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි “දැන් ශරත්කාලයෙහි වූ රෝගයෙන් පහස්නා ලද භික්‍ෂූන්හට බොන ලද කැඳ ද උඩට එයි. අනුභව කළ බත් ද උඩට එයි. ඒ හේතුවෙන් ඒ භික්‍ෂූහු වෑරුණෝය. රළු වූවෝ ය. දුර්වර්‍ණ වූවෝ ඉතා පඬුවන් වූවෝ ය. නහර ඉල්පුනු සිරුරු ඇත්තෝ ය. එහෙයින් යමක් බෙහෙත් වන්නේ ද, ලෝකයා විසින් බෙහෙතැ යි සම්මතත් කරණ ලද්දේ ද, අහරකිසත් සපයන්නේ ද, දළආහාරයක් සේ නො පෙණෙන්නේ ද, එබඳු වූ බෙහෙදක් මම භික්‍ෂූන්ට කිම අනුදන්නෙම් දැ”යි අදහසෙක් පහළ වූයේ ය.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “මේ බෙහෙත් පසෙක් වේ. එනම්: ගිතෙල් වෙඬරු තලතෙල් මීපැණි උක්සකුරු යන මේ ය. මොහු බෙහෙත් ද වෙති. ලෝකයා විසින් බෙහෙතැ යි ද සම්මතයහ අහර කිසත් සිදු කෙරෙත්. දළආහාරයක් සේ නො පෙණෙත්. මම භික්‍ෂූන්හට මේ පස් බෙහෙත් සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි වැළඳීමට අනුදන්නෙම් නම්, යෙහෙකැ” සි මේ සිත් වි ය.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගී සිටි සේක් මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට “මහණෙනි, මෙහි රහෝගත ව විවේකයට පැමිණ හුන් මාගේ සිතෙහි ‘දැන් ශරත්කාලයෙහි වූ රෝගයෙන් පහස්නා ලද භික්‍ෂූන්හට බීපු කැඳ ද උඩට එයි. වැළඳූ බත් ද උඩට එයි. ඒ හේතුවෙන් ඒ භික්‍ෂූහු වෑරුණෝ ය. රළු වූවෝ ය. දුර්වර්‍ණ වූවෝ ය. ඉතා පඬුවන් වූවෝ නහර ඉල්පුනු සිරුරු ඇත්තෝ ය. (එහෙයින්) යමක් බෙහෙත් වේ ද, ලෝකයා විසින් බෙහෙතැ යි සම්මතත් කරණ ලද්දේ ද, අහරකිසත් සිදු කරන්නේ ද, දළආහාරයක් සේ නො පෙණෙන්නේ ද, (එබඳු වූ) බෙහෙතක් මම භික්‍ෂූන්ට කිම අනුදන්නෙම් දැ’ යි අදහසෙක් උපන.
6. “මහණෙනි, ඒ මට – ‘මේ බෙහෙත් පසෙක් වේ. එනම්: ගිතෙල් වෙඬරු තලතෙල් මීපැණි උක්සකුරු යන මේ ය. මොහු බෙහෙත් ද වෙති. ලෝකයා විසින් බෙහෙතැ යි ද සම්මතයහ. අහර කිසත් සිදු කෙරෙත්. දළ ආහාරයක් සේ නො පෙණෙත්. මම භික්‍ෂූන්හට මේ පස් බෙහෙත් සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි වළඳන්නට අනුදන්නෙම් නම්, යෙහෙකැ’යි මේ සිත් වි ය. මහණෙනි, ඒ බෙහෙත් පස සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි වළඳන්නට අනුදනිමි” යි.
7. එකල්හි භික්‍ෂූහු ඒ පස් බෙහෙත් සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි පරිභෝග කෙරෙත්. ඒ භික්‍ෂූන්හට යම් ඒ ස්වාභාවික වූ රළුආහාරයෝ වෙත් ද, ඒ ආහාරයෝ ද රුචි නො වෙත්. සිනිඳු ආහාරයෝ රුචි නොවෙත් යනු කිම? ඒ භික්‍ෂූහු ශරත් කාලයෙහි හටගත් ඒ රෝගයෙන් ද මේ ආහාරඅරුචියෙන් ද යන ඒ දෙකින් පහස්නා ලද්දාහු බොහෝ සෙයින් වෑරුණෝ ය. රළු වූවෝ ය. දුර්වර්‍ණ වූවෝ ය. ඉතා පඬුවන් වූ නහර ඉල්පුනු සිරුරු ඇත්තෝ ය.
8. භාග්‍යවතුන් වහන්සේ ඉතා තදින් වෑරුණු රළු වූ දුර්වර්‍ණ වූ ඉතා පඬුවන් වූ නහර ඉල්පුනු සිරුරු ඇති ඒ භික්‍ෂූන් දුටු සේක. දැක, “ආනන්‍දය, කුමක් නිසා දැන් භික්‍ෂූහු ඉතා තදින් වෑරණාහු ද? රළු වූවාහු ද? දුර්වර්‍ණ වූවාහු ද? ඉතා පඬුවන් වූවාහු ද? නහර ඉල්පුනු සිරුර ඇත්තාහු දැ” යි අනඳ තෙරුන් ඇමතූ සේක.
9. “ස්වාමීනි, භික්‍ෂූහු දැන් ඒ පස් බෙහෙත් සුදුසු කාලයෙහි පිළිගෙණ සුදුසු කාලයෙහි වළඳත්. ඔවුන්ට යම් ඒ ස්වාභාවික වූ රළු ආහාරයෝ වෙත් ද, ඒ ආහාරයෝ ද රුචි නො වෙත්. සිනිඳු ආහාරයෝ කියනු කිම? ඒ භික්‍ෂූහු ශරත් කාලයෙහි හටගත් ඒ රෝගයෙන් ද මේ ආහාරඅරුචියෙන් ද යන ඒ දෙකින් පහස්නා ලද්දාහු බොහෝ සෙයින් වෑරුණාහු ය. රළු වූවාහුය. දුර්වර්‍ණ වූවාහු පඬුවන් වූවාහු ය. නහර ඉල්පුනු සිරුරු ඇත්තාහු ය” යි.