33. එකල්හි භික්ෂූහු අඳුන්කුලා ද අඳුන්කූරු ද අතින් පරිහරණය කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඳුන් පසුම්බියක් අනුදනිමි” යි. අංසවට්ටකයෙක් (උරහිස ලන පටියක්) නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අස්වටක් බඳිනහුයක් අනුදනිමි” යි.
34. එකල්හි ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරුන්ට හිසරුදාවක් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හිසෙහි තෙල් ගෑම අනුදනිමි” යි. ඉවසිය හැක්කේ නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නස්‍ය කිරීම අනුදනිමි” යි. නස්‍යය වැගිරේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නස්‍යකරණියක් = නැහැඔරුවක් අනුදනිමි” යි.
35. එකල්හි සවගමහණෝ රනින් කළ, රිදියෙන් කළ උසස් පහත් නස්යකරණීන් දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසස් පහත් නස්‍යකරණී නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇටෙන් කළ –පෙ– සක්නැබින් කළ නස්‍යකරණී අනුදනිමි” යි. නස්‍යය විෂම ව වැගිරේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යමක (සමදෙණි දෙකකින් යුත්) නස්‍යකරණියක් අනුදනිමි” යි. නො ඉවසිය හැකි වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දුම් බීම අනුදනිමි” යි. ඒ දුන්වැටිය ම දල්වා බොත්. උගුර දැවේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දුම්කෝවක් (=නළයක්) අනුදනිමි” යි.
36. එකල්හි සවගමහණෝ රනින් කළ, රිදියෙන් කළ වටිනා කමින් වැඩි අඩු දුම්කෝව දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසස් පහත් දුම්කෝව නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇටෙන් කළ –පෙ– සක්නැබින් කළ දුම්කෝව අනුදනිමි” යි.
37. එකල්හි දුම්කෝව නො වැසුනේ වේ. සත්තු වදිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පියනක් අනුදනිමි”යි.
38. එකල්හි භික්ෂූහු දුම්කෝව අතින් පරිහරණය කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දුම්කෝව ලන පසුම්බියක් අනුදනිමි” යි. එකට හැපෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බියලි (කොපු) දෙකක් ඇති පසුම්බියක් අනුදනිමි” යි. අංසවට්ටකයෙක් නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අංසවට්ටකයක් බඳිනාහුයක් අනුදනිමි” යි.
39. එකල්හි ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරුන්ට වාතාබාධයෙක් වේ. වෙද්දු “තෙලක් පිසිය යුතු ය” යි මෙසේ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බෙහෙත්තෙල් පිසීම අනුදනිමි” යි. ඒ තෙල් පිසීමෙහි මද්‍යය බැහිය යුත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බෙහෙත් පිණිස පිසන තෙලෙහි මද්‍යය බැහීම අනුදනිමි” යි.
40. එකල්හි සවගමහණෝ වැඩියක් බැහූ මද්‍යය ඇති තෙල් පිසත්. ඒ තෙල් පානය කොට මත් වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “මහණෙනි, වැඩියක් බැහූ මද්‍යය ඇති තෙල් නො පිය යුතු ය. යමෙක් බොන්නේ නම්, ඇවැත් පරිදි කරවිය යුතු ය. මහණෙනි, යම් තෙල් පිසීමෙක මද්යායෙහි පැහැය නො පෙණේ ද, ගඳ නො පෙණේ ද, රසය නො පෙණේ ද, එබඳු වූ මද්යාය බැහූ තෙල් බීම අනුදනිමි” යි.
41. එකල්හි භික්ෂූන්ට මද්‍යය වැඩියක් බැහූ බොහෝ තෙල් පිසන ලද්දේ වේ. එකල්හි භික්ෂූන්ට “ඉතා වැඩියක් මද්‍යය බැහූ තෙලෙහි කෙසේ පිළිපැදිය යුතු දැ” යි මේ සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඇඟ ගල්වන තෙලක් කොට ඉටීමට අනුදනිමි”යි.
42. එකල්හි ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරුන්ට බොහෝ තෙල් පිසන ලද්දේ වේ. තෙල්බඳුනෙක් නැත්තේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ලොහොසැළිය, ලීසැළිය, මේරූ පලයෙන් කළ සැළිය යන සැළි තුණක් අනුදනිමි” යි.
43. එකල්හි ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරුන්ට අඞ්ගවාතයෙක් (=ඇඟරුදාවෙක්) වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ස්වේදය (ඩහ ගැන්වීම) අනුදනිමි” යි. නො ඉවසිය හැක්කේ වේ. –පෙ– “මහණෙනි, කොළ වර්ග වලින් ස්වේද ගැන්වීම අනුදනිමි” යි. පහසු නො වේ. –පෙ– “මහණෙනි, මහාස්වේද ගැන්වීම අනුදනිමි” යි. පහසු නො වේ. –පෙ– “මහණෙනි, (ස්වේද ගැන්වීමට) කොළ තැම්බූ දිය අනුදනිමි” යි. පහසු නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, (ස්වේද ගැන්වීමට) දියකොටුවක් අනුදනිමි” යි.
44. එකල්හි ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරුන්ට පුරුක්වාතයෙක් (=හන්දිරුදාවක්) වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ලේ ඇරීම අනුදනිමි” යි. පහසු නො වේ. –පෙ– “මහණෙනි, ලේ මුදා අඟකින් ගන්නට අනුදනිමි” යි.
45. එකල්හි ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරුන්ගේ පාදයෝ පැළුනාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පය ගල් වන තෙලක් අනුදනිමි.” පහසු නොවේ. –පෙ– “මහණෙනි, පයට හිත වූ බෙහෙතක් පිළියෙල කරන්නට (පිසන්නට) අනුදනිමි” යි.