23. එකල්හි එක්තරා මහණකුට අමනුෂ්‍යාබාධයෙක් වේ. ආචාර්‍ය්‍යඋපාධ්‍යායයෝ ඔහුට උවැටන් කරන්නෝ නීරෝග කරන්නට නො හැකි වූහ. ඒ මහණ තෙමේ ඌරන් මරණ තැනකට ගොස් අමුමස් කෑසේ ය. අමුලේ ද බීයේ ය. (ආවිෂ්ට වූ අමනුෂ්‍යයා මස් ලේ කා බී ගියේ ය යි යූ සේ යි.) ඔහුගේ ඒ අමනුෂ්‍යාබාධය සන්සිඳුනේ ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අමනුෂ්‍යයන් නිසා හටගත් රෝගයෙහි අමුමස් අමුලේ අනුදනිමි” යි.
24. එකල්හි එක්තරා මහණකුහට ඇස්ලෙඩක් වේ. භික්‍ෂූහු ඔහු අල්වා ඔසොවා ගෙණ මල ද මුත්‍ර ද පහ කරවත්.
25. සේනාසනචාරිකාවෙහි වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහු අල්වා ඔසොවා ගෙණ මල ද මුත්‍ර ද පහ කරවන්නා වූ ඒ භික්‍ෂූන් දුටු සේක. දැක ඒ භික්‍ෂූන් වෙත එළඹි සේක. එළඹ ඒ භික්‍ෂූන්ගෙන් “මහණෙනි, මේ මහණහුගේ ආබාධය කිමැ” යි පිළිවිසූහ. “ස්වාමීනි, මේ මහණහුට ඇස්ලෙඩකි. අපි මේ මහණහු අල්වා ගෙණ මල ද මුත්‍ර ද පහ කරවමු” යි.
26. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට “මහණෙනි, කළුඅඳුන්, රසඳුන්, ගං හෝ ආදියෙහි උපදින අඳුන්, ලොහෝඅඳුන්, සුවන්ගුරුඅඳුන්, පහන්සිළුදැලිඅඳුන් යන අඳුන් අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූ සේක. අඳුන් පිණිස ගල ගා ගත් බෙහෙතින් ප්‍රයෝජන වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, සඳුන්, තුවරලා, කළුඅගිල්, තලිස්, වම්මුතු අනුදනිමි” යි.
27. එකල්හි භික්‍ෂූහු පිටිඅඳුන් තලු තැටියෙහි ද මලාවෙහි ද බහත්. තණසුන්නෙන් ද පසින් ද ගැවසී ගණිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඳුන්කුලාවක් (නළයක්) අනුදනිමි” යි.
28. එකල්හි සවගමහණෝ රනින් කළ රිදියෙන් කළ උස් පහත් අගය ඇති අඳුන්කුලා දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසස් පහත් අඳුන්කුලා නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇටෙන් කළ, දතින් කළ, අඟින් කළ, බටදඬුවෙන් කළ, උණදඬුවෙන් කළ, ලීයෙන් කළ, ලාකඩින් කළ, පැසුනුඵලයෙන් කළ, ලෝහයෙන් කළ, සක්නැබින් කළ අඳුන්කුලා අනුදනිමි” යි.
29. එකල්හි අඳුන්කුලාවෝ නො වසන ලද්දාහු වෙත්. තණසුන්නෙන් හා පසින් ද ගැවසී ගණිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පියනක් අනුදනිමි” යි. පියන වැටේ. “මහණෙනි, හුයකින් පියන බැඳ අඳුන්කුලාවෙහි බඳින්නට අනුදනිමි” යි. කුලාව පැළෙයි. “මහණෙනි, හුයෙන් විදිනට අනුදනිමි” යි.
30. එකල්හි භික්‍ෂූහු ඇඟිල්ලෙන් අඳුන් ගාති. ඇස් පෙළෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඳුන්කූරු (අඳුන්ලහ) අනුදනිමි” යි.
31. එකල්හි සවගමහණෝ රනින් කළ, රිදියෙන් කළ උසස් පහත් අඳුන්කූරු දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසස් පහත් අඳුන්කූරු නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇටෙන් කළ –පෙ– සක්නැබින් කළ අඳුන්කූරු අනුදනිමි” යි.
32. එකල්හි අඳුන්කූරු බිම වැටුනේ රළු වෙයි. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඳුන්කූරු ලන කොපුවක් අනුදනිමි”යි.
33. එකල්හි භික්‍ෂූහු අඳුන්කුලා ද අඳුන්කූරු ද අතින් පරිහරණය කරත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අඳුන් පසුම්බියක් අනුදනිමි” යි. අංසවට්ටකයෙක් (උරහිස ලන පටියක්) නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අස්වටක් බඳිනහුයක් අනුදනිමි” යි.
34. එකල්හි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට හිසරුදාවක් වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, හිසෙහි තෙල් ගෑම අනුදනිමි” යි. ඉවසිය හැක්කේ නො වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නස්‍ය කිරීම අනුදනිමි” යි. නස්‍යය වැගිරේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, නස්‍යකරණියක් = නැහැඔරුවක් අනුදනිමි” යි.
35. එකල්හි සවගමහණෝ රනින් කළ, රිදියෙන් කළ උසස් පහත් නස්‍යකරණීන් දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසස් පහත් නස්‍යකරණී නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇටෙන් කළ –පෙ– සක්නැබින් කළ නස්‍යකරණී අනුදනිමි” යි. නස්‍යය විෂම ව වැගිරේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, යමක (සමදෙණි දෙකකින් යුත්) නස්‍යකරණියක් අනුදනිමි” යි. නො ඉවසිය හැකි වේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දුම් බීම අනුදනිමි” යි. ඒ දුන්වැටිය ම දල්වා බොත්. උගුර දැවේ. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, දුම්කෝවක් (=නළයක්) අනුදනිමි” යි.
36. එකල්හි සවගමහණෝ රනින් කළ, රිදියෙන් කළ වටිනා කමින් වැඩි අඩු දුම්කෝව දරත්. මිනිස්සු “කාමභෝගී ගිහින් සේ” යි අවමන් කෙරෙත්. නින්‍දා කෙරෙත්. දොස් කියත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, උසස් පහත් දුම්කෝව නො දැරිය යුතු ය. යමෙක් දරන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, ඇටෙන් කළ –පෙ– සක්නැබින් කළ දුම්කෝව අනුදනිමි” යි.
37. එකල්හි දුම්කෝව නො වැසුනේ වේ. සත්තු වදිත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පියනක් අනුදනිමි”යි.