33. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්‍ෂූන් අමතා “මහණෙනි, දැන දැන තමන් උදෙසා කළ මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම් දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. “මහණෙනි, තමන් විසින් නො දුටු, නො ඇසූ, සැක නො කළ, ත්‍රිකෝටිකපරිශුද්ධ මත්ස්‍යමාංස අනුදනිමි”.
34. එකල්හි විශාලාමහනුවර සුලභ වූ භික්‍ෂා ඇත්තේ යහපත් සස්‍ය ඇත්තේ සුව සේ ලැබිය හැකි ආහාර ඇත්තේ පාත්‍රය ගෙණ පිඬු සිඟා යෑමෙන් යැපීමට පහසු වූයේ වේ.
35. ඉක්බිති රහෝගත වූ විවේකයට පැමිණ හුන් භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි මෙබඳු කල්පනාවෙක් පහළ වි ය: “භික්‍ෂා නැති සස්‍ය නැති දුර්‍ලභ වූ පිඬු ඇති කාලයෙහි – ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද්ද, පෙර පිළිගන්නා ලද නැවැත පිළිගත් දෙය, වැළඳූ තැනින් ගෙණෙන ලද්ද, පෙරවරුයෙහි පිළිගන්නා ලද්ද, වනයෙහි හටගත් දෙය. පියුම්ගසෙහි හටගත් දෙය යන යම් ඒ දෑ මා විසින් භික්‍ෂූන්ට අනුදන්නා ලද ද භික්‍ෂූහු ඒ දෑ අදත් පරිභෝග කෙරෙත්දැ” යි (කියායි).
36. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැගී සිටි සේක් “ආනන්‍දය, භික්‍ෂා නැති සස්‍ය නැති පිඬු දුර්‍ලභ වූ කාලයෙහි ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය, පෙර පිළිගන්නා ලද නැවැත පිළිගත් දෙය, වැළඳූ තැනින් ගෙණෙන ලද්ද, පෙරවරු පිළිගන්නා ලද්ද, වනයෙහි හටගත් දෙය පියුම්ගසෙහි හටගත් දෙය යන යම් ඒ දෑ මා විසින් භික්‍ෂූන්ට අනුදන්නා ලද ද භික්‍ෂූහු ඒ දෑ අදත් වළඳත් දැ” යි ආයුෂ්මත් අනඳ තෙරුන් විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, වළඳත්” යි අනඳ තෙරහු සැළකළහ.
37. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, භික්‍ෂා නැති සස්‍ය නැති දුර්‍ලභ වූ පිඬු ඇති කාලයෙහි – ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය, පෙර පිළිගන්නා ලද නැවැත පිළිගත් දෙය, වැළඳූ තැනින් ගෙණෙන ලද්ද, පෙරවරුයෙහි පිළිගන්නා ලද්ද, වනයෙහි හටගත් දෙය, පියුම්ගසෙහි හටගත් දෙය යන යම් ඒ දෑ මා විසින් භික්‍ෂූන්ට අනුදන්නා ලද ද, මම අද පටන් ඒ දෑ ප්‍රතික්‍ෂේප කරමි. මහණෙනි, ඇතුළත තබන ලද ඇතුළත පිසන ලද තමන් විසින් පිසන ලද දෙය, පෙර පිළිගන්නා ලද නැවැත පිළිගත් දෙය, නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ. මහණෙනි, වළඳා අවසන් කළ පවාරණය කළ මහණහු විසින් වැළඳූ තැනින් ගෙනෙණන ලද, පෙරවරුයෙහි පිළිගන්නා ලද, වනයෙහි හටගත් පියුම්ගසෙහි හටගත් අනතිරික්ත වූ, දෙය නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, ඇවැත් පරිදි කරවිය යුතු ය” යි.
38. එකල්හි දනවුවැසි මිනිස්සු බොහෝ ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දෑ ද ගැල්වල පටවා ගෙණ අරම්කොටුවෙන් පිටත ගැල්වට තබා “යම් විටෙක පිළිවෙළ වාරය ලබන්නෙමු ද එවිට බත් පිළියෙල කරන්නෙමු” යි බලා සිටිත්. මහාමේඝයෙක් ද නැගුනේ වෙයි.
39. ඉක්බිති ඒ මිනිස්සු ආයුෂ්මත් අනඳ තෙරුන් වෙතට ගියහ. ගොස් “ස්වාමිනී, ආනන්‍දස්ථවිරයන් වහන්ස, මෙහි බොහෝ ලුණු ද තෙල් ද සහල් ද කෑ යුතු දෑ ද ගැල්වල පටවා තිබේ. මහා මේඝයෙක් ද නැංගේ ය. ස්වාමිනී, ආනන්‍දස්ථවිරයන් වහන්ස, කුමක් කළ යුතු දැ” යි ආයුෂ්මත් අනඳ තෙරුන් විචාළහ.
40. එවිට ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “ආනන්‍දය, එසේ නම් සඞ්ඝ තෙමේ යම් වෙහෙරක් හෝ අඩපියසි ඇති ගෙයක් හෝ පහයක් හෝ සඳලු සහිත ගෙයක් හෝ ගුහාවක් හෝ යන යම් තැනක් කැපබිමක් කිරීමට කැමැති වේ ද, එබඳු පසු පසෙක පිහිටි විහාරයක් කැපබිම සේ සම්මත කොට එහි තැන්පත් කෙරේවා. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: ව්‍යක්ත වූ ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය: “ස්වාමිනී, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙනම් විහාරය කැපබිම කොට සම්මත කරන්නේ ය. මේ දැන්වීම ය. ස්වාමිනී, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා, සඞ්ඝ තෙමේ මෙනම් විහාරය කැප බිම කොට සම්මත කරයි. යම් ආයුෂ්මතකුහට මෙනම් විහාරය කැපබිමක් කොට සම්මත කිරීම රුචි වේ නම්, හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමකුහට රුචි නො වේ නම්, හෙ තෙමේ කියාවා. සඞ්ඝ තෙමේ මෙනම් විහාරය කැපබිම කොට සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට (එය) රුචි වේ. එහෙයින් නිශ්ශබ්ද වේ. මෙය මෙසේ දරමි” යි.