48. පසෙක හුන් සුප්පියඋපාසක තෙමේ “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ භික්ෂුසඞ්ඝයා සමග හෙටට මාගේ බත ඉවසා වදාරණ සේක්වා” යි භාග්යවතුන් වහන්සේට මෙය සැළකළේ ය. භාග්යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ භාග්යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
49. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ ඒ රැය ඉක්ම යෑමෙන් පසු ප්රණීත වූ කෑ යුතු දෙය බිදිය යුතු දෙය පිළියෙල කරවා “ස්වාමීනි, දැන් මේ කාල ය යි, බත නිමියේ ය” යි භාග්යවතුන් වහන්සේට සැළකරවී ය. එවිට භාග්යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පා සිවුරු ගෙණ සුප්පියඋපාසකයාගේ ගෙට වැඩි සේක. වැඩ භික්ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි හුන් සේක.
50. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. භාග්යවතුන් වහන්සේ පසෙක සිටි සුප්පිය උපාසකයාගෙන් “සුප්පියාව කොහි දැ” යි අසා වදාළ සේක. “භාග්යවතුන් වහන්ස, (ඕ තොමෝ) ගිලන් වූවා ය” යි. “එසේ නම් මෙහි ඒවා” යි. “භාග්යවතුන් වහන්ස, නො හැකිය”. “එසේ නම් ඔසොවා ගෙණ එවු” යි. ඉක්බිති සුප්පියඋපාසක තෙමේ සුප්පියාඋපාසිකාව ඔසොවා ගෙනායේ ය. භාග්යවතුන් වහන්සේගේ දැකීම සමග ම ඇගේ ඒ මහත් වූ වණය ගොඩ වී මනා සිවි ඇත්තේ වි ය. ලොම් හටගත්තේ වි ය.
51. එවිට සුප්පියඋපාසක තෙමේ ද සුප්පියාඋපාසිකා තොමෝ ද “භාග්යවතුන්ගේ දැකීම සමග එපමණ මහත් වූ වණය ගොඩ වූයේ මනා සිවි ඇත්තේ හටගත් ලොම් ඇත්තේ වී නම්, තථාගතයන් වහන්සේගේ ඒ මහත් ඍද්ධි ඇති බව මහත් අනුභාව ඇති බව, භවත්නි, අරුමයකි! භවත්නි, පුදුමයකි!” යි සතුටු වූවෝ ඔද වැඩියාහු බුද්ධප්රමුඛ භික්ෂුසඞ්ඝයා ප්රණීත වූ කෑ යුතු දෙයින් බිදියු යුතු දෙයින් සියතින් සතප්වා පවරා, වළඳා අවසන් කළ පාත්රයෙන් බැහැර කළ අත් ඇති භාග්යවතුන් වහන්සේ වෙත පසෙක හුන්හ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ සුප්පියඋපාසකයා ද සුප්පියාඋපාසිකාව ද දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.
52. එකල්හි භාග්යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි භික්ෂුසඞ්ඝයා රැස් කරවා “මහණෙනි, කවරෙක් සුප්පියාඋපාසිකාව මස් විණවූයේ දැ” යි භික්ෂූන් විචාළ සේක. මෙසේ විචාළ කල්හි ඒ මහණ තෙමේ “ස්වාමීනි, මම සුප්පියා උපාසිකාව මස් විණ වූ (ඉල්ලූ) යෙමි” යි භාග්යවතුන් වහන්සේට මෙය සැළකළේ ය. “මහණ, ගෙණෙනු ලැබී ද?” “භාග්යවතුන් වහන්ස, ගෙණෙනු ලැබී ය”. “මහණ, තෝ වැළඳූයෙහි ද?” “භාග්යවතුන් වහන්ස, මම වැළඳූයෙමි”. “මහණ තෝ ‘කිනම් මසක් දැ’ යි විචාළෙහි (විමසුවෙහි) ද?” “භාග්යවතුන් වහන්ස, මම නො විමසුවෙමි”.
53. භාග්යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. “සිස් පුරුෂය, තෝ කෙසේ නම් නො විචාරා (පරීක්ෂා නො කොට) මස් වැළඳූයෙහි ද? සිස් පුරුෂය, තා විසින් වළඳන ලද්දේ මනුෂ්යමාංසයෙකි. සිස් පුරුෂය මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ” යි –පෙ– ගරහා දැහැමි කතා කොට “මහණෙනි, ශ්රද්ධාවත් වූ ප්රසන්න වූ මනුෂ්යයෝ වෙති. ඔවුන් විසින් තමන්ගේ මස් ද පුදන ලද්දේ ය. මහණෙනි, මිනිස් මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, ථුලසිඇවැත් වේ” යි භික්ෂූන් ට වදාළ සේක. “මහණෙනි, නො විචාරා මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
54. එකල්හි රජුගේ ඇත්තු මැරෙත්. මිනිස්සු දුර්භික්ෂයෙහි ඇත් මස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්ෂූන්ට ඇත්මස් දෙත්. භික්ෂූහු ඇත්මස් වළඳත්. මිනිස්සු “ශාක්යපුත්රීය වූ ශ්රමණයෝ කෙසේ නම් ඇත්මස් වළඳත් ද? ඇත් තෙමේ රජුගේ සේනා අවයවයෙකි. රජ තෙමේ දන්නේ නම්, ඔවුන්ට සතුටු සිත් ඇත්තේ නො වන්නේය” යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්, භාග්යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, ඇත්මස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
55. එකල්හි රජුගේ අශ්වයෝ මැරෙත්. මිනිස්සු දුර්භික්ෂයෙහි අශ්වමාංස අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්ෂූන්ට අශ්වමාංස දෙත්. භික්ෂූහු අශ්වමාංස වළඳත්. මිනිස්සු “ශාක්යපුත්රීය වූ ශ්රමණයෝ කෙසේ නම් අශ්වමාංස වළඳත් ද? අශ්වයෝ රජුගේ සේනා අවයවයෙකි. රජ තෙමේ දන්නේ නම්, ඔවුන්ට සතුටු සිත් ඇත්තේ නො වන්නේ ය” යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්. භාග්යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, අශ්වමාංස නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
56. එකල්හි මිනිස්සු දුර්භික්ෂයෙහි බලුමස් අනුභව කරත්. පිඬු සිඟා හැසිරෙණ භික්ෂූන්ට බලුමස් දෙත්. භික්ෂූහු බලුමස් වළඳත්, මිනිස්සු “ශාක්යපුත්රීය වූ ශ්රමණයෝ කෙසේ නම් බලුමස් වළඳත් ද? බලු තෙමේ නින්දිත ය. පිළිකුල් ය” යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්. භාග්යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, බලුමස් නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.
57. එකල්හි මිනිස්සු දුර්භික්ෂයෙහි සර්පමාංස අනුභව කරත්, පිඬු සිඟා හැසිරෙණ භික්ෂූන්ට සර්පමාංස දෙත්. භික්ෂූහු සර්පමාංස වළඳත්. මිනිස්සු “ශාක්යපුත්රීය වූ ශ්රමණයෝ කෙසේ නම් සර්පමාංස වළඳත් ද? සර්පයා හිරිකිත ය. පිළිකුල් ය” යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්.
58. සුඵස්ස නාරජ තෙමේ ද භාග්යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ සුඵස්ස නාරජ තෙමේ “ස්වාමීනි, ශ්රද්ධා නැති නො පහන් නාගයෝ ඇත්තාහ. ඔහු ස්වල්පයකිනුදු භික්ෂූන් පෙළන්නාහු ය. ස්වාමීනි, ආර්ය්යයන් වහන්සේලා සර්පමාංස නො වළඳන්නාහු නම්, යෙහෙකැ” යි භාග්යවතුන් වහන්සේට මෙය සැළකළේ ය.
59. ඉක්බිති භාග්යවතුන් වහන්සේ සුඵස්ස නාරජු දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සේක. සමාදන් කරවූ සේක. තියුණු කරවූ සේක. සතුටු කරවූ සේක. ඉක්බිති සුඵස්ස නාරජ තෙමේ භාග්යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තියුණු කරවන ලද්දේ සතුටු කරවන ලද්දේ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
60. එකල්හි භාග්යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි, සර්පමාංස නො වැළඳිය යුතු ය. යමෙක් වළඳන්නේ නම්, දුකුළාඇවැත් වේ” යි.