5.
චම්මක්ඛන්‍ධකය
1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එකල්හි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ ගම් අසූදහසෙක ඓශ්වර්‍ය්‍යයයෙන් හා අධිපති භාවයෙන් යුත් රාජ්‍යය කරවයි. එකල්හි චම්පානුවර කොළිවීස ගොත්‍රයෙහි උපන් සෝණ නම් සිටුපුත්‍ර තෙමේ සිවුමැලි වූයේ වේ. ඔහුගේ යටිපතුල්හි (අඳුන්වන්) ලොම් හට ගත්තේ වේ. එකල්හි මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ කිසියම් කටයුත්තක් සඳහා (මෙන්) ඒ අසූ දහසක් ගම් ප්‍රධානයන් රැස් කරවා කොළිවීසගෝත්‍රයෙහි උපන් සෝණ සිටුපුතු වෙතට “සෝණ තෙමේ පැමිණේවා. සෝණගේ ඊම කැමැත්තෙමි” යි දූතයකු යැවී ය.
2. එවිට කොළිවීස සෝණගේ මවු පියෝ ‘පුත් සෝණ, රජ තෙමේ ඔබගේ පාදයන් දකිනු කැමැත්තේ ය. පුත් සෝණ, තෝ රජු දිසාවට පාදයන් දිගු නො කරව. රජුගේ ඉදිරියෙහි අහරමිණිය ගොතා හිඳුව. රජ තෙමේ එසේ හුන් තාගේ පාදයන් දකින්නේ ය” යි කොළිවීස සෝණට කීහ.
3. ඉක්බිති කොළිවීස සෝණ සිවිගෙයකින් (දෝලාවකින්) ගෙණවාහු ය. කොළිවීස සෝණ තෙමේ මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු වෙතට ගියේ ය. ගොස් මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජු සකසා වැඳ රජ ඉදිරියෙහි අහරමිණිය ගොතා හුන්නේ ය. මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ කොළිවීස සෝණගේ යටිපතුල්හි හටගත් ලොම් දුටුයේ ය.
4. ඉක්බිති මගධේශ්වර වූ සේනිය බිම්බිසාර රජ තෙමේ ඒ අසූ දහසක් ගම් ප්‍රධානයන් මේ ජීවිතයට හිත වූ කරුණෙහි අනුශාසනා කොට “කොලෙනි, මා විසින් තෙපි මේ ජීවිතයට හිත වූ කරුණෙහි අනුශාසනා කරණ ලද්දෝ වහු ය. යවු. ඒ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙවු. අපගේ ඒ භාග්‍යවතුන් වහන්සේ පරලොවට හිත වූ කරුණෙහි අනුශාසනා කරන්නාහු ය” යි පිටත් කෙළේ ය. එවිට ඒ අසූදහසක් ගම් ප්‍රධානයෝ ගිජු කුළුපව්වට ගියහ.
5. ඒ කාලයෙහි ආයුෂ්මත් සාගත ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙත්. එහෙයින් ඒ අසූදහසක් ගම් ප්‍රධානයෝ ආයුෂ්මත් සාගත තෙරුන් වෙතට ගියහ. ගොස් ආයුෂ්මත් සාගත තෙරුන්ට “ස්වාමීනි, මේ අසූදහසක් ගම් ප්‍රධානයෝ භාග්‍යවතුන් වහන්සේ දක්නට මෙහි පැමිණියාහු ය. ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ දක්නට ලබන්නෙමු නම් මැනවැ” යි මෙය සැළකළහ. “එසේ නම් ආයුෂ්මත්නි, තෙපි මම යම්තාක් කලෙකින් භාග්‍යවතුන් වහන්සේට එය දන්වන්නෙම් ද, ඒ තාක් කල් මොහොතක් මෙහි ම සිටිවු.”
6. ඉක්බිති සාගත ස්ථවිරයන් වහන්සේ ඒ අසූදහසක් ගම් ප්‍රධානයන් ඉදිරියෙහි බලා සිටිය දී සඳකඩපහණෙහි ගිලී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මතු වී භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මේ අසූදහසක් ගම් ප්‍රධානයෝ භාග්‍යවතුන් වහන්සේ දක්නට මෙහි පැමිණියාහු ය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ එයට කල් දන්නා සේක්වා”යි මෙය සැළකළහ.
7. “සාගත, එසේ නම් වෙහෙර පිටිපස සෙවණෙහි අසුන් පණවන්නැ? යි වදාළ සේක. “ස්වාමීනි, එසේ ය” යි ආයුෂ්මත් සාගත ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පුටුවක් ගෙණ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි ගිලී ඒ අසූදහසක් ගම් ප්‍රධානයන් ඉදිරියෙහි බලා සිටිය දී සඳකඩ පහණෙන් මතු වී වෙහෙර පිටිපස සෙවණෙහි අසුනක් පැණවූහ.
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම වෙහෙර පිටිපස සෙවණෙහි පැණවූ අසුනෙහි වැඩ හුන් සේක. ඉන් පසු ඒ අසූ දහසක් ගම් ප්‍රධානයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ.
9. එකල්හි ඒ අසූදහසක් ගම් ප්‍රධානයෝ ආයුෂ්මත් සාගත තෙරුන් ගැණ ම සලකත්. භාග්‍යවතුන් වහන්සේ ගැණ එසේ නො සලකත්. භාග්‍යවතුන් වහන්සේ ඒ අසූදහසක් ගම් ප්‍රධානයන්ගේ සිතේ අදහස තම සිතින් දැන ආයුෂ්මත් සාගත තෙරුන් ඇමතූ සේක: “සාගත, එසේ නම් තෝ බොහෝවක් උතුරු මිනිස් දම් පෙළහර දක්වවු” යි. “ස්වාමීනි, එසේ ය” යි ආයුෂ්මත් සාගත තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී අහසට නැගී අහසෙහි සක්මන් ද කෙරෙයි. සිටීම ද කෙරෙයි. සයනය ද කෙරෙයි. දුමන්නේ ද වෙයි. දිලිසෙන්නේ ද වෙයි. අතුරුදහන් ද වෙයි.
10. ඉන් පසු ආයුෂ්මත් සාගත තෙමේ අහස් කුසෙහි උතුරු මිනිස් දම්පෙළහර දක්වා භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘ වන සේක. මම ශ්‍රාවක වෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘ වන සේක. මම ශ්‍රාවක වෙමි” යි මෙය සැළකෙළේ ය.
11. ඉක්බිති ඒ අසූදහසක් ගම් ප්‍රධානයෝ “පින්වත්නි, ආශ්චර්‍ය්‍යයෙකි! පින්වත්නි, පෙර නො වූවෙකි! ඒ එසේ ම ය. ශ්‍රාවක තෙමේ මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මෙසේ මහත් අනුභාව ඇත්තේ වන්නේ නම්, ශාස්තෘ තෙමේ අහෝ පුදුමැ!” යි භාග්‍යවතුන් වහන්සේ ම සලකත්. ආයුෂ්මත් සාගත තෙරුන් ගැණ එසේ නො සලකත්.
12. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ අසූ දහසක් ගම් ප්‍රධානයන්ගේ සිතේ අදහස තම සිතින් දැන අනුපිළිවෙළකතාව වදාළ සේක. එනම් දානකථාව, ශීලකථාව, ස්වර්‍ගකථාව, කාමයන් දුක්බව, ලාමකබව, කෙලෙසීම, පැවිද්දෙහි අනුසස් වදාළ සේක.
13. යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සුදුසු වූ සිත් ඇත්තන් මොළොක් වූ සිත් ඇත්තන් නො වැසුනු සිත් ඇත්තන් නො හැකුළුණු සිත් ඇත්තන් පහන් සිත් ඇත්තන් ද කොට දත් සේක් ද, එකල්හි බුදුවරයන්ගේ තමන් ම පියොවින් උසස් බවට පැමිණියා වූ යම් ධර්‍මදේශනාවක් වේ ද, ඒ දුඃඛ සත්‍යය සමුදයසත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. පහ වූ කිලුටු ඇති පිරිසිදු වස්ත්‍රයක් මනා කොට සායම් අල්ලා ගන්නේ යම් සේ ද, එසේ ම ඒ අසූදහසක්, ගම් ප්‍රධානයන්ට ඒ ආසනයෙහි දී ම “යමක් හට ගැණීම ස්වභාවය කොට ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ” යි පහ වූ රාගාදී රජස් ඇති පහ වූ කෙලෙස් මල ඇති සෝතාපත්තිමග්ගඤාණය පහළ වූයේ ය.