4.
පවාරණක්ඛන්ධකය
1. එකල්හි භාග්යවත් වූ බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන උයන්හි අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ බොහෝ භික්ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළඹියහ.
2. එකල්හි ඒ භික්ෂූන්ට “අපි කිනම් උපායයකින් සමගි ව සතුටු වෙමින් විවාද නො කරමින් පහසුවෙන් වස් වසන්නෙමු ද? ආහාර ලැබීමෙන් ක්ලාන්ත නො වන්නෙමු දැ?” යි මෙබඳු සිතෙක් උපන.
3. නැවැත ඒ භික්ෂූන්ට “ඉදින් අපි උනුන් කතා නො කරන්නෙමු නම්, වදන් පිළිවදන් වසයෙන් කතා නො කරන්නෙමු නම්, යමෙක් පළමු කොට ගමෙහි පිඬු පිණිස හැසිර පෙරළා එන්නේ ද, හෙ තෙමේ අසුන් පණවන්නේ නම්, පා දෝනා දිය පාපුටුව නො සේදු පා තබන පුවරුව එළවා තබන්නේ නම්, ඉඳුල් ලන බඳුන සෝදා එළවන්නේ නම්, පැන් පිරිබෝදිය එළවන්නේ නම්, යමෙක් පසු ව ගමෙහි පිඬු පිණිස හැසිර පෙරළා පැමිණෙන්නේ ද, වළඳා ඉතිරි වූ ආහාරයෙක් වන්නේ ද, (එය) කැමැත්තේත් වන්නේ ද, එය වළඳන්නේ නම්, නො කැමැත්තේ නම්, නිල් තණ නැති තැනෙක දමන්නේ නම්, සතුන් නැති දියෙහි හෝ පා කොට හරින්නෙන් නම්, අසුන් ඔසොවා තබන්නේ නම්, පා දෝනා දිය පාපුටුව පා තබන පුවරුව තැන් පත් කරන්නේ නම්, ඉඳුල් ලන බඳුන සෝදා තැන් පත් කරන්නේ නම්, පැන් (කළය) පිරිබෝදිය (සැළ) තැන් පත් කරන්නේ නම්, බොජුන්හල හමදින්නේ නම්, යමෙක් සිස් වූ පැන්කළය හෝ පිරිබෝදියසැළ හෝ වැසිකිළිදිය කළය හෝ දක්නේ ද, හෙ තෙමේ එළවා තබන්නේ නම්, ඉදින් ඔහුට (එය) ඔසොවනු නො හැකි වේ නම්, අත වැනීමෙන් දෙවැන්නකු අමතා අත්විලඟින් (දෙදෙනකු බැඳගත් අත් වලින්) එළවා තබන්නේ නම්, ඒ හේතුවෙන් කතා නො කරන්නේ නම්, අපි මෙසේ සමගි ව සතුටුවෙමින් විවාද නො කරමින් පහසුවෙන් වස් වසන්නෙමු. ආහාරයෙන් ක්ලාන්ත නො වන්නෙමු” යි මෙබඳු සිතෙක් විය.
4. ඉක්බිති ඒ භික්ෂූහු උනුන් නො ම කතා කළහ. වදන් පිළිවදන් වශයෙන් නො ම කතා කළහ. යමෙක් පළමු ව ගමෙහි පිඬු පිණිස හැසිර හැරී ඒ ද, හෙ තෙමේ අසුන් පණවයි. පා දෝනා දිය පාපුටුව පාපුවරුව එළවා තබයි. ඉඳුල් ලන බඳුන සෝදා එළවයි. පැන් පිරිබෝදිය එළවයි. යමෙක් පසු ව ගමෙහි පිඬු පිණිස හැසිර පෙරළා ඒ ද, වළඳා ඉතිරි වූ ආහාරයෙක් වන්නේ ද කැමැත්තේ නම්, එය වළඳයි. නො කැමැත්තේ නම්, නිල් තණ නැති තැනෙක හෝ දමයි. සතුන් නැති දියෙහි හෝ පා කොට හරියි. හෙ තෙමේ අසුන් ඔසොවා තබයි. පා දෝනා දිය පාපුටුව පාපුවරුව තැන්පත් කරයි. ඉඳුල් ලන බඳුන සෝදා තැන්පත් කරයි. පැන් (කළය) පිරිබෝදිය (සැළ) තැන් පත් කරයි. බොජුන්හල හමදියි. යමෙක් සිස් වූ පැන්කළය හෝ පිරිබෝදියකළය හෝ වැසිකිළිදියකළය හෝ දක්නේ ද, හෙ තෙමේ එය එළවයි. ඉදින් ඔහුට (එය) නො හැක්කේ නම් හස්තසංඥාවෙන් දෙවැන්නකු අමතා අත්විලඟින් එළවයි. ඒ හේතුවෙන් කතා නො කරන්නේම ය.
5. භාග්යවතුන් වහන්සේ දැකීමට එළැඹීම ය යන මෙය වස් වැස නිම කළ භික්ෂූන්ගේ පුරුද්දෙක් ම වේ. එකල්හි වස් වැස නිම කළ ඒ භික්ෂූහු තෙමස ඇවෑමෙන් සෙනසුන් තැන් පත් කොට පාසිවුරු ගෙණ සැවැත්නුවරට ගියහ. පිළිවෙළින් ගොස් සැවැත් නුවර ජේතවනයෙහි වූ අනාථපිණ්ඩික සිටුගේ ආරාමයට එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ වෙත ගියහ. ගොස් භාග්යවතුන් වහන්සේ සකසා වැඳ පසෙක හුන්හ.
6. ආගන්තුක භික්ෂූන් හා පිළිසඳර කතා කිරීම යන මෙය භාග්යවත් වූ බුදුවරුන්ගේ පුරුද්දෙක් ම ය. එහෙයින් භාග්යවතුන් වහන්සේ “මහණෙනි, කිම? (සැපපහසුකම්) ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම සමගි වූවෝ සතුටු වෙමින් විවාද නො කරමින් පහසුවෙන් වස් විසූවහු ද? ආහාරයෙන් පීඩා නො ලැබූහු දැ?” යි යන මෙය ඒ භික්ෂූන්ගෙන් අසා වදාළසේක.
7. “භාග්යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, අපි සමගි ව සතුටු සිත් ඇති ව විවාද නො කරමින් පහසුවෙන් වස් විසූමු. ආහාරයෙන් ද ක්ලාන්ත නො වීමු” යි (භික්ෂූහු සැළකළහ).
8. තථාගතවරු දන්නෝ ද විචාරත්. දන්නෝ ද නො විචාරත්. කාලය දැන විචාරත්, කාලය දැන නො විචාරත්. තථාගතවරු අර්ත්ථයෙන් යුක්ත වූවක් විචාරත්. අනර්ත්ථයෙන් යුක්ත වූවක් නො විචාරත්. අනර්ත්ථයෙන් යුක්ත වචනයෙහි තථාගතයන් වහන්සේලාගේ මාර්ගඥානයෙන් ම හේතු නැසීම වේ.
9. භාග්යවත් බුදුවරයෙක් “ධර්මය හෝ දෙසන්නෙමු. ශ්රාවකයන්ට ශික්ෂාපද හෝ පණවන්නෙමු” යි දෙ අයුරකින් භික්ෂූන් විචාරත්.
10. ඉක්බිති භාග්යවතුන් වහන්සේ “මහණෙනි, තෙපි කෙසේ නම් සමගි ව සතුටු සිත් ඇති ව විවාද නො කරමින් පහසුවෙන් වස් විසූවහු ද? ආහාරයෙන් ක්ලාන්ත නො වූහු දැ?” යි යන මෙය ඒ භික්ෂූන්ගෙන් විචාළසේක.
11. “ස්වාමීනි, අපි මෙහි මිතුරු වූ දැඩිමිතුරු වූ බොහෝ භික්ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළැඹියෙමු. “ස්වාමීනි, ඒ අපට ‘අපි කිනම් උපායයකින් සමගි ව සතුටු සිත් ඇති ව විවාද නො කරමින් පහසුවෙන් වස් වසන්නෙමු ද? ආහාරයෙන් ද ක්ලාන්ත නො වෙමු දැ?’ යි මේ සිතෙක් උපන.