තිණවත්‍ථාරකය
60. ප්‍රතිඥාතකරණ නම් වූ එක් සමථයකට නො පැමිණ සම්මුඛ විනයයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද යන සමථ දෙකින් ආපත්‍යධිකරණය සන්සිඳෙන්නේය යන්න විය හැකි ද? විය හැකි යැ යි කිය යුතු වන්නේ ය. කෙසේ ද? යත්: ‘මෙහි හටගත් අරගල ඇති වැ හටගත් කලහ ඇති වැ විවාදයට පැමිණියන් වැ වසන මහණුන් විසින් වාචසික වූ ද කායික වූ ද බොහෝ වරද කරන ලදුයේ වෙයි. ඉදින් එහි මහණුනට හටගත් අරගල ඇති වැ හටගත් කලහ ඇති වැ විවාදයට බටුවන් වැ වසන අප විසින් වාචසික වූද කායික වූ ද බොහෝ වරද කරණ ලදුයේ වෙයි. ඉදින් අපි මේ ඇවැත්වලින් උනුනට පිළියම් කරවන්නමෝ නම් ඒ අධිකරණය රළු බව පිණිස, සැඩ බව පිණිස, බිඳීම පිණිස පවතිනු විය හැකියැ’ යි මෙසේ සිතෙක් වෙයි. මහණෙනි, මෙබඳු අධිකරණය තිණවත්‍ථාරකයෙන් සන්සිඳුවන්නට අනුදනිමි:
තවද මහණෙනි, මෙසේ එය සන්සිඳු විය යුතු: සියලු මහණුන් ම එක් තැනකට රැස් විය යුතු. එක්රැස් වැ ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් “වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසා වා, උපන් අරගල ඇති ව, උපන් කලහ ඇති ව, විරුද්ධවාදයට බැසගත්තන් ව වසන අප විසින් වාචසික වූ ද කායික වූ ද ශ්‍රමණසාරූප්‍ය නොවූ බොහෝ දෑ කරණ ලද්දේ ය. ඉදින් අපි මේ ඇවත්වලින් ඔවුනොවුනට පිළියම් කරවන්නමෝ නම්, ඒ අධිකරණය රළුබව පිණිස, සැඩබව පිණිස, භේදය පිණිස පවතිනු ද හැකි වන්නේ ය, ඉදින් සංඝයාට සුදුසු කලහැ යි හැඟෙන්නේ වී නම් සංඝ තෙමේ (පරිජි සඟවෙසෙස් යන) දළ වරද හැර, ගිහින් ගැරහුම් ආදීන් ගෘහස්ථප්‍රතිසංයුක්ත වරද ද හැර (සෙසු ඇවැත් හා සම්බන්‍ධ වූ) මේ අධිකරණය තිණවත්‍ථාරකයෙන් සන්සිඳුවන්නේ ය.
එක් පක්‍ෂයකට අයත් මහණුන් අතුරෙන් ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් “ආයුෂ්මත්හු මා ගේ වචනය අසත්වා. උපන් අරගල ඇති වැ උපන් කලහ ඇති වැ විරුද්ධවාදයට බැසගත්තන් වැ වසන අප විසින් වාචසික වූ ද කායික වූ ද අශ්‍රාමණක වූ බොහෝ දෑ කරණ ලද්දේ වෙයි. ඉදින් අපි මේ ඇවැත්වලින් ඔවුනොවුනට පිළියම් කරවන්නමෝ නම්, ඒ අධිකරණය රළුබව පිණිස සැඩබව පිණිස භේදය පිණිස පවතිනු ද විය හැක්ක. (ඒ හෙයින්) ඉදින් ආයුෂ්මත්නට සුදුසු කල් යැ යි හැඟෙන්නේ වී නම්, ආයුෂ්මතුන්ගේ යම් ඇවැත් වේ නම් තමා ගේ යම් ඇවැත් වේ නම් ස්ඵුල වරද ද ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර සෙසු සියලු ඇවැත් ආයුෂ්මත්නට වැඩ පිණිසත් තමාට වැඩ පිණිසත් සඟ මැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙමි” යි ස්වකීය පක්‍ෂය දැන්වියැ යුතු යැ. ඉක්බිති අන් එක් පක්‍ෂයක් ගත් මහණුන් අතුරෙන් ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් “ආයුෂ්මත්හු මාගේ වචනය අසත්වා. උපන් අරගල ඇති ... ස්ථුල වරද ද ගෘහීප්‍රතිසංයුක්ත ආපත්තී ද හැර සෙසු සියලු ඇවැත්.... සහ මැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙම්” යැ යි ස්වකීය පක්‍ෂය දැන්විය යුතු.
එක් පක්‍ෂයකට අයත් මහණුන් අතුරෙන් ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින්,
“වහන්ස, සංඝ තෙමේ මා ගේ වචනය අසාවා. උපන් අරගල ඇති..... අප විසින්..... බොහෝ ආශ්‍රාමණක දෑ කරණ ලද්දේ වෙයි. ඉදින් අපි ඔවුනොවුනට මේ ඇවැත්වලින් පිළියම් කරවන්නමෝ නම් ඒ අධිකරණය රළුබව පිණිස, සැඩබව පිණිස, භේදය පිණිස පවතිනු ද විය හැකි ය. ඉදින් සංඝයාට සුදුසු කල් වේ යැයි හැඟේ නම් මම් ස්ථූල වරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර, මේ ආයුෂ්මතුන් ගේ සෙසු යම් ඇවැත් වේ නම් තමා ගේ ද සෙසු යම් ඇවැත් වේ නම්, ඒ හැම මේ ආයුෂ්මත්වරුනට වැඩ පිණිස ද තමාට වැඩ පිණිස ද සඟ මැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙමි. මේ ඥප්තිය යැ.
සංඝ තෙමේ මා ගේ වචනය අසාවා. උපන් අරගල ඇති..... අප විසින්..... බොහෝ ආශ්‍රාමණක දෑ කරන ලද්දේ වෙයි.... මම් ස්ඵුල වරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර, මේ ආයුෂ්මතුන් ගේ සෙසු යම් ඇවැත් වේ නම්, තමා ගේ ද සෙසු යම් ඇවැත් වේ නම්, ඒ හැම මේ ආයුෂ්මත්වරුනට වැඩ පිණිස ද තමාට වැඩ පිණිස ද සඟමැද දී තිණවත්‍ථාරකයෙන් දෙසමි. සථූලවරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර සෙසු මේ සියලු ඇවැත් අප සඟ මැද දී තිණවත්‍ථාරකයෙන් දෙසීම යම් ආයුෂ්මතකු හට රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා, යම් ආයුෂ්මතකු හට නො රිසියෙන්නේ වී නම් හේ කියාවා.
අප විසින් ස්ථුල වරද ද හැර, ගෘහීප්‍රතිසංයුක්ත ඇවැත් ද හැර සෙසු මේ සියලු ඇවැත් සඟමැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන ලද්දේ ය. සංඝයාට රිසිවෙයි. එ හෙයින් නිහඬ යැ. මෙසේ මෙය සලකමි” යැ යි සංඝ තෙමේ දැන්විය යුතු.
ඉක්බිති අන් එක් පක්‍ෂය ගත් මහණුන් අතුරෙන් ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින්,
“සංඝ තෙමේ මා ගේ වචනය අසා වා. උපන් අරගල ඇති ... අප විසින් ... වරද කරන ලද්දේ ය. ස්ඵුල වරද හැර ගෘහීප්‍රතිසංයුක්ත ආපත්ති ද හැර සෙසු..... සියලු ඇවැත් සඟමැද දී තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙමි. මේ ඥප්තිය යැ.