5.
ඛුද්දකවත්ථුක්ඛන්ධකය
ක්ෂුද්රකවස්තු
1. එ සමයෙහි භාග්යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර නිසා කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ කල්හි වනාහි සවග මහණහු ස්නානය කරන්නාහු කලවා ද අත්දඬු ද ළය ද පිට දැ යි ශරීරාවයව රුකෙහි උළත්. මිනිස්සු ‘කෙසේ නම් ශාක්යපුත්රික මහණහු ස්නානය කරන්නාහු මල්ල පොරකාරයන් සේ, සම පැහැපත් කරන නුවරුන් සේ කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව රුකෙහි උළත් දැ’ යි ලාමක කොට සිතත්, නොගුණ කියත්, දොස් පතුරුවත්. මහණහු ලාමක කොට සිතන, නොගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන ඇසූහු ය. ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැලකළාහ. එකල්හි භාග්යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්ෂුසංඝයා එක්රැස් කරවා ‘මහණෙනි, සවග මහණහු නාන්නාහු කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව රුකෙහි උළත් දැ යි පුවත සත්ය දැ යි අසා වදාළ සේක. ‘භාග්යවතුන් වහන්ස, සත්ය යැ’යි මහණහු කීහ. භාග්යවතුන් වහන්සේ, “මහණෙනි, ඒ හිස් පුරුෂයන්ගේ ක්රියාව මහණුනට නො නිසි ය, මහණුනට නො අනුලොම් ය, මහණුනට නො සුදුසු ය, අශ්රාමණක ය, මහණුනට නො කැප ය, මහණුන් විසින් නො කළ යුත්තෙක. මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ නාන්නාහු කලවාත් අත්දඬුත් ළයත් පිටත් රුකෙහි උළත් ද? මහණෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස ද පහන් වූවන්ගේ ප්රසාදය වැඩෙනු පිණිස ද නො වේ. වැලිදු මහණෙනි, මෙය නො පහන් වූවන් ගේ නො පැහැදීම පිණිස ද පැහැදුණු සමහර දෙනාගේ වෙනස් බව පිණිසද පවතී” යැ යි නොයෙක් ලෙසින් ගැරැහු සේක. නොයෙක් ලෙසින් ගරහා, දැහැමි කතා කොට, මහණුන් අමතා,
“මහණෙනි, නාන්නා වූ මහණහු විසින් රුකෙහි ඇඟ නො ඉළියයුතු ය. යම් මහණෙක් ඇඟ (රුකෙහි) උළන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
2. එ සමයෙහි වනාහි සවග මහණහු නාන්නාහු, කලවා ද අත්දඬු ද ළය ද පිට ද යන ශරීරාවයව ටැඹෙහි උළත්. ‘ශාක්යපුත්රික ශ්රමණයෝ නාන්නාහු, මල්ල පොරකාරයන් මෙන් සම පැහැ ගන්වන නියැරියන් මෙන් කෙසේ නම් ටැඹෙහි කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව උළත් දැ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්, භික්ෂුහු ලාමක කොට සිතන, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන් ගේ වචන ඇසූහු ය. ඉක්බිති ඒ මහණහු භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැළකළාහ. “මහණෙනි ... සැබෑ දැ” යි භාග්යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘සැබෑ යැ’ යි භික්ෂුහු පැවැසූහ. භාග්යවතුන් වහන්සේ ... නොයෙක් කරුණු දක්වා ගැරැහු සේක. නොයෙක් කරුණු දක්වා ගරහා දැහැමි කථා කොට, මහණුන් අමතා,
“මහණෙනි, නාන්නාවූ මහණහු විසින් ටැඹෙහි ඇඟ නො ඉළියැයුතු. යම් මහණෙක් ඇඟ ඉළුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
3. එ සමයෙහි වනාහි සවග මහණහු නාන්නාහු, කලවා ද අත්දඬු ද ළය ද පිට ද බිත්තියෙහි උළත්. ‘ශාක්යපුත්රික ශ්රමණයෝ නාන්නාහු, මල්ල පොරකාරයන් මෙන්, සම පැහැ ගන්වන නියැරියන් මෙන්, කෙසේ නම් බිත්තියෙහි කලවාත් අත්දඬුත් ළයත් පිටත් යන ශරීරාවයව උළත් දැ’ යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත් ... භාග්යවත් බුදුරජාණන් වහන්සේ නොයෙක් කරුණින් ගැරැහු සේක. ... නොයෙක් කරුණින් ගරහා, දැහැමි කථා කොට, භික්ෂූන් අමතා,
“මහණෙනි, නාන්නාවූ මහණහු විසින් බිත්තියෙහි ඇඟ නො ඉළියැයුතු, යමෙක් (බිත්තියෙහි) ඇඟ ඉළුයේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.
4. එ සමයෙහි වනාහි සවග මහණහු අට්ඨානයෙහි (ගිහියන් සඳහා ඇඟ උළන පුවරු සිටුවා ඇති තොටුපලෙහි) ස්නානය කරත්. මිනිස්සු ... “කෙසේ නම් කාමභෝගී ගිහියන් මෙන් .... පිට ද උළත් දැ” යි ලාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරුවත්. භික්ෂූහු ලාමක කොට සිතන, නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ වචන ඇසූහු ය. ඉක්බිති ඒ මහණහු භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැලකළහ. “මහණෙනි, සැබෑ දැ” යි භාග්යවතුන් වහන්සේ අසා වදාළ සේක. “සැබෑ ය වහන්සැ” යි ඔහු කීහ. භාග්යවතුන් වහන්සේ ... නොයෙක් ලෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට, මහණුන් අමතා,
“මහණෙනි, අට්ඨානයෙහි (ගිහියන් සඳහා පිළියෙල වැ ඇති තොටුපලෙහි) නො නෑ යුතු. යමෙක් නෑයේ වී නම් දුකුළා ඇවැත් වන්නේ යැ” යි වදාළ සේක.