6.
සේනාසනක්‌ඛන්‌ධකය
1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට නො දුරු (ලෙහෙණුනට අහර දුන් තැන වූ බැවින්) කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් මහණුනට සෙනසුන් නො පනවන ලද්දේ වෙයි. ඒ මහණහු ද රුක්මුලෙහි ද පර්‍වතයෙහි ද කඳුරැළියෙහි ද ගල්ලෙන්හි ද සොහොනෙහි ද වනපෙතෙහි ද එළිමහනෙහි ද පිදුරුගොඩෙහි දැ යි ඒ ඒ තැන වෙසෙත්. ඔහු දුටුවන් පහදවන්නා වූ ඉදිරි බැලීමෙන් ද දෙපස බැලීමෙන් ද අත් පා නැමීමෙන් ද අත් පා දිගහැරීමෙන් ද උපලක්‍ෂිත වැ බිමට හෙලූ ඇස් ඇත්තාහු මනා ඉරියව්වෙන් යුක්ත වූවාහු කල් තබා ම වනයෙන් ද රුක්මුලින් ද පර්‍වතයෙන් ද කඳුරෙන් ද ගල් ලෙනින් ද සොහොනින් ද වනපෙතින් එළිමහන් පෙදෙසින් ද පිදුරුගොඩින් ද යන ඒ ඒ තැනින් නික්මයෙත්.
2. එ සමයෙහි වනාහි රජගහ නුවර (ප්‍රධාන) සිටු තෙම කල් තබා ම (සිය) උයනට ගියේ ය. රජගහ නුවර සිටු තෙම දුටුවන් පහදවන ඉදිරි බැලීමෙන් දෙපස බැලීමෙන් අත්පා හැකිළැවීමෙන් අත්පා දිග හැරීමෙන් උපලක්‍ෂිත වැ බිමට හෙලූ ඇස් ඇති වැ මනා ඉරියව්වෙන් යුතු වැ කල් තබා ම වනයෙන් ද රුක්මුලින් ද පර්‍වතයෙන් ද කඳුරෙන් ද ගල්ලෙනින් ද සොහොනින් ද වනපෙතින් ද එළිමහනෙන් ද පිදුරුගොඩින් දැ යි ඒ ඒ තැනින් නික්මැ වඩනා මහණුන් දුටුයේ ම ය. දැකීමෙන් ඔහු ගේ සිත පැහැදිණ. එ කලැ රජගහ සිටු ඒ මහණුන් කරා එළැඹියේ ය. එළැඹැ “වහන්ස, මා විහාරයන් කැරැවූවොත් ඒ මගේ විහාරයන්හි වසන්නහු ද” යි මෙ බස් කී ය.
3. “ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් විහාරයෝ නො අනුදන්නා ලදුහ” යි (ඒ මහණහු කීහ. ) “වහන්ස, එසේ වී නම් භාග්‍යවතුන් වහන්සේ පිළිවිස මට දන්වන්නැ” යි සිටු කී ය.
“එසේ ය, ගැහැවියැ” යි කියා ම ඒ මහණහු රජගහ සිටුහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක උන්හ. පසෙක උන්නාවූ ම ඒ මහණහු “වහන්ස, රජගහසිටු තෙම විහාර කරවනු කැමැත්තේ ය. වහන්ස, (මෙහි) කෙසේ පිළිපැදියයුතු දැ” යි. මෙය කීහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කතා කොට මහණුන් අමතා, “මහණෙනි, විහාරය ද ගුරුළු පියාපත් වැනි සෙවෙනි ඇති ගෙය ද දික් පහය ද සඳලු සහිත ගෙය ද ගුහාව ද යන ලෙන් පස අනුදනිමි” යි වදාළසේක.
ඉක්බිති ඒ මහණහු රජගහසිටු කරා එළැඹියාහ. එළඹ සිටුහු බණවා, “ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් විහාරයෝ අනුදන්නා ලදුහ. යමක් සඳහා අප විචාළෙහි ද, එයට දැන් කාලයැ යි දැනගන්නැ” යි කීහ. එකල්හි රජගහසිටු තෙම එක් දවසින් ම වෙහෙර සැටක් පිහිටුවී ය.
4. එ කල්හි රජගහසිටු ඒ සැට වෙහෙර නිමවා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හිඳගත්තේ ය. රජගහ සිටු පසෙක හුන්නේ ම “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික් සඟන හා සෙට දවසට මගේ බත ඉවසන සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේට මෙ සේ කී ය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් (එය) ඉවසූ සේක. ඉක්බිති රජගහසිටු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගී ඔබ වැඳ පැදකුණු කොට නික්මියේ ය.
ඉක්බිති රජගහසිටු එ රැය ඇවෑමෙන් ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙළ කරවා “වහන්ස, දැන් වඩනට කාලය ය. බත පිළියෙළ කරවා නිමැවිණැ’යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වාලී ය. එ කලැ භාග්‍යවතුන් වහන්සේ (ඒ) පෙරවරු සෙමෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන රජගහසිටුහු ගෙය වෙත වැඩිසේක. වැඩ, පැනැවුණු අස්නෙහි බික්සඟන හා හුන්සේක. එ කලැ රජගහ සිටු බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් සියතින් සතපා පවරවා වළඳා අවසන් වූ පාත්‍රයෙන් ඉවතට ගත් අතැති භාග්‍යවතුන් වහන්සේට එක් පසෙක හිඳ ගත්තේ ය. (එසේ) එක් පසෙක හුන් රජගහ සිටු තෙම “වහන්ස, පින්කැමැති සගසුව පතන මා විසින් මේ වෙහෙර සැටෙක් කැරැවිණ. වහන්ස, ඒ සැට වෙහෙරෙහි මම් කෙසේ පිළිපදිම් දැ” යි භාග්‍යවතුන් වහන්සේට මෙ බස් කී ය.
“ගැහැවියෙනි, එසේ වී නම් තෙපි සැම වෙහෙර පැමිණි නොපැමිණි සිවුදිගැ වැසි සඟනට පිහිටුවවු (පිරිනමවු)” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“එසේ ය, වහන්සැ” යි රජගහ සිටු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ වෙහෙර සැට පැමිණි නොපැමිණි සතර දික් වැසි සඟනට පිරිනැමී ය.
5. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ සිටුහට මේ ගාථාවලින් අනුමෝදනා කැර වදාළසේක. (ගාථාවල අදහස:)
“විහාරය ශීතය ද උෂ්ණය ද නසයි. එයින් අන්‍ය වූ චණ්ඩ මෘගයන් ද බඩගා යන සතුන් ද මැසිමදුරුවන් ද ශීත සුළං ද වැසි ද බැහැරැ කෙරෙයි.
එයින් අන්‍ය වූ හටගත් නපුරු අවුසුළං ද දුරු වෙයි. සංඝයාට විහාර කරවා දීම එකලා වැ හිඳිනු පිණිස ද ධ්‍යාන කිරීමටත් විවසුන් වැඩීමටත් පහසුව පිණිස ද වූ අග්‍ර එකෙකැ යි බුදුරජුන් විසින් වැණින.