8. සතර අධිකරණ
24. එ සමයෙහි වනාහි මහණහු ද මෙහෙණන් හා විවාද කෙරෙත්, මෙහෙණහු ද මහණුන් හා විවාද කෙරෙත්. ඡන්න මහණ ද මෙහෙණන් ... මැදට වැද මහණුන් හා විවාද කෙරෙයි. මෙහෙණන්ගේ පක්‍ෂය ගන්වයි. අල්පේච්ඡ වූ ... යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු ඡන්න මහණ තෙම කෙසේ නම් මෙහෙණන් මැදට වැද මහණුන් හා විවාද කරන්නේ ද? මෙහෙණන්ගේ පක්‍ෂය ගන්වන්නේ දැ?’ යි අවඥා කෙරෙත්, දොස් නඟත්, අගුණ පතුරුවා බෙණෙත්, ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහ. ‘මහණෙනි, එය සැබෑ දැ?’ යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘වහන්ස සැබැවැ’ යි ඒ මහණහු පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගරහා, දැහැමි කතා කොට, ඔවුන් බණවා මෙය වදාළ සේක:
25. “මහණෙනි, විවාදාධිකරණය, අනුවාදාධිකරණය, ආපත්‍යධිකරණය, කාත්‍යාධිකරණයැ යි මේ සතර අධිකරණ කෙනෙක් වෙත්.
එහි විවාදාධිකරණය කවර යැ. මහණෙනි, මෙහි මහණහු ‘මේ දහමැ යි කියා හෝ නොදහමැයි කියා හෝ විනයයැ යි කියා හෝ අවිනයයැ යි කියා හෝ තථාගතයන් විසින් වදාරණ ලද්දේ ය, පවසන ලද්දේයැ යි කියා හෝ තථාගතයන් විසින් නො වදාරණ ලද්දේ ය, නො පවසන ලද්දේ යැ යි කියා හෝ තථාගතයන් විසින් ආචීර්‍ණ (කරණ ලද) යැ යි කියා හෝ තථාගතයන් විසින් අනාචීර්‍ණයැ යි කියා හෝ තථාගතයන් විසින් පණවන ලදැ යි කියා හෝ තථාගතයන් විසින් නො පණවන ලදැ යි. කියා හෝ මේ ඇවැතැ යි කියා හෝ මේ නො ඇවැතැ යි කියා හෝ මේ ලුහු ඇවැතැ යි කියා හෝ මේ ගරු ඇවැතැයි කියා හෝ මේ සාවශේෂ ඇවැතැයි කියා හෝ මේ අනවශේෂ ඇවැතැයි කියා හෝ මේ දුළුල් ඇවැතැ යි කියා හෝ මේ නොදුළුල් ඇවැතැ යි කියා හෝ විවාද කෙරෙත් ද, එහි යම් අරගලයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් නානා වාදයෙක් අන්‍යථාවාදයෙක් විරුද්ධ ව්‍යවහාරයෙක් (පරුෂවචනයෙක්) කල බැගෑනියෙක් වෙයි ද මේ විවාදාධිකරණ යැ යි කියනු ලැබේ.
එහි අනුවාදාධිකරණ නම් කවර යැ? මහණෙනි, මෙහි මහණහු ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීව විපත්තියෙන් හෝ චෝදනා කෙරෙත් ද, එහි යම් අනුවාදයෙක් (චෝදනාවෙක්), අනුවදනයෙක්, පුන පුනා දොස් නැඟීමෙක් පුන පුනා දොස් කීමෙක් පුන පුනා අවනත කරන බවෙක්, දිරිගන්වා කීමෙක්, අනුබල දීමෙක් වේ ද, මෙය අනුවාදාධිකරණ නමැ යි කියනු ලැබේ.
එහි ආපත්තාධිකරණ නම් කවර යැ? ඇවැත් කඳු පස ම ආපත්තාධිකරණ යි, ඇවැත්කඳු සත ම ආපත්තාධිකරණ යි. මේ ආපන්නාධිකරණ නමැයි කියනු ලැබේ.
එහි කිච්චාධිකරණ නම් කවර යැ ? අපලෝකනකර්‍ම ය, ඥප්තිකම් ය, ඥප්තිද්වීතීයකම් ය, ඥප්තිචතුර්‍ත්‍ථකර්‍ම යැ යි සංඝයාගේ යම් ඒකාන්තයෙන් කර්‍ම කළ යුතු බවෙක්, කාර්‍ය භාවයෙක් වේ ද, මේ කිච්චාධිකරණයැ යි කියනු ලැබේ.
25. විවාදාධිකරණයාගේ මුල කවර යැ? විවාද මූල සය විවාදාධිකරණයට මුල් ය. තුන් අකුසල් මුල් ද විවාදාධිකරණයට මුල් ය. තුන් කුසල් මුල් ද විවාදාධිකරණයට මුල් ය.
කවර විවාද මුල් සයෙක් විවාදාධිකරණයට මුල වේ ද යත්: මහණෙනි, මෙහි මහණෙක් ක්‍රෝධ කරන්නේ වේ ද, බද්ධ වෛර ඇත්තේ වේ ද, හේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වෙසෙයි, ධර්‍මය කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, සඞ්ඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවැතුම් නැත්තේ වෙසෙයි, ශික්‍ෂායෙහි ද පරිපූරකාරී (සම්පූර්‍ණ කරන්නේ) නො වෙයි, මහණෙනි, යම් මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වෙසෙයි ද, ධර්‍මය කෙරෙහි ද ... සඞ්ඝයා කෙරෙහි ද ... ශික්‍ෂායෙහි ද පරිපූරකාරී නො වෙයි ද, හේ සඞ්ඝයා කෙරෙහි විවාද උපදවයි. ඒ විවාදය බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස, දෙවි මිනිසුන් හට අහිත පිණිස දුක් පිණිස වෙයි. මහණෙනි, මෙබඳු විවාද මූලය ඉදින් තමා කෙරෙහි හෝ තමාගෙන් පිටත්හි හෝ දක්නේ නම්, මහණෙනි, එහි තෙපි ලාමක වූ ඒ විවාදමූලයේ ම ප්‍රහාණය පිණිස වෑයම් කරවු. මහණෙනි, ඉදින් තෙපි එබඳු විවාදමූලයක් තමන් කෙරෙහි හෝ තමන්ගෙන් පිටත්හි හෝ (අනුන් කෙරෙහි හෝ) නො දක්නහු නම්, මහණෙනි, තෙපි එහි ලා ඒ විවාදමූලයාගේ ම මත්තෙහි තමන් කෙරෙහි පහළ නොවන්නට පිළිපදිවු. මෙසේ මේ ලාමක වූ විවාදමූලයාගේ ප්‍රහාණය වෙයි, මෙසේ මේ විවාදමූලයාගේ මත්තෙහි නොඉපැද්ම වේ.