අධිකරණ සන්හිඳුවීම
42. විවාදාධිකරණය ශමථ කීයෙකින් සන්හිඳේද? සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකායේන් ද යන ශමථ දෙකින් සන්හිඳේ.
විවාදාධිකරණය භූය්‍යසිකා නම් එක් ශමථයට නො පැමිණ සම්මුඛාවිනය නම් වූ එක් ශමථයෙන් සන්හිඳෙන්නේ ය යන්න විය හැකි ද? විය හැක්කැ යි ඔහුට කිය යුතු. ඒ කෙසේ ද යත්: මෙහි මහණහු ධර්‍මයැ යි හෝ අධර්‍මයදැ යි හෝ විනයයැ යි හෝ අවිනය යැ යි හෝ තථාගතයන් වහන්සේ විසින් වදාරන ලදැ යි දෙසන ලදැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි නො දෙසන ලදැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරන ලදැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරන ලදැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් පනවන ලදැ යි කියා හෝ තථාගතයන් වහන්සේ විසින් නො පනවන ලදැ යි කියා හෝ ඇවැතැ යි කියා හෝ නොඇවැතැ යි කියා හෝ ලුහු ඇවැතැ යි කියා හෝ ගුරු ඇවැතැ යි කියා හෝ සාවශේෂ ඇවැතැ යි කියා හෝ අනවශේෂ ඇවැතැ යි කියා හෝ දුළුල් ඇවැතැ යි කියා හෝ නොදුළුල් ඇවැතැයි කියා හෝ විවාද කෙරෙත් ද, මහණෙනි, ඉදින් එ මහණහු මේ අධිකරණය සන්හිඳුවන්නට හැකි වෙත් ද, මහණෙනි, එසේ කලැ මේ අධිකරණය සන්හිඳුවන ලදැ යි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුවන ලද්දේ ද යත්: සම්මුඛාවිනයයෙන් සංඝිඳුවන ලද්දේ ය.
43. එහි සම්මුඛාවිනය යනු කිමෙක් ද? සංඝ සම්මුඛතාව, ධර්‍මසම්මුඛතාව විනයසම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන මොහු ය.
එහි සංඝසම්මුඛතාව කවර යැ? යම් පමණ භික්‍ෂු කෙනෙක් විනය කර්‍මයට සුදුසු වෙත් ද, ඔහු ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු මහණුන් ගේ ඡන්‍දය ගෙනෙන ලද්දේ වේ ද, හමු වූ මහණහු ප්‍රතික්‍රෝශ නො කෙරෙත් ද මෙය එහි සඞ්ඝ සම්මුඛතාව වේ.
එහි ධර්‍මසම්මුඛතා විනය සම්මුඛතා කවුරු යැ? යම් විනයයෙකින්, යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සංසිඳේ ද, මේ ධර්‍ම විනය දෙක එහි ධර්‍මසම්මුඛතා විනයසම්මුඛතා නම් වේ.
එහි පුද්ගල සම්මුඛතා නම් කවර යැ.? යමෙකුත් විවාද කෙරේ ද, යමකු හාත් විවාද කෙරේ ද, ඒ දෙ පසෙහි වූවෝ හමු වූවාහු වෙත් ද, මේ එහි පුද්ගල සම්මුඛතා යි.
මහණෙනි, මෙසේ සංසිඳුවන ලද අධිකරණය ඉදින් කාරක මහණෙක් (එයට සම්බන්‍ධ වූ මහණෙක්) උත්කෝටනය කරන්නේ ද, (යලිත් විසඳනු පිණිස මතු කරන්නේ ද), ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ. ඡන්‍දය දුන් මහණෙක් විනිශ්චයට දොස් නඟයි ද, ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.
මහණෙනි, ඉදින් ඒ මහණහු ඒ ආවාසයෙහි දී ඒ අධිකරණය සන්හිඳුවන්නට නොහැකි වන්නාහු නම්, යම් ආවාසයෙක ගණනින් වැඩිතරම් මහණ කෙනෙක් වෙත් නම්, ඒ මහණුන් විසින් එකී ආවාසය කරා යෑ යුතු වෙයි. මහණෙනි, ඉදින් ඒ මහණහු අතරමඟදී ඒ අධිකරණය සන්හිඳුවන්නට හැකි වන්නාහු නම්, මහණෙනි, මේ අධිකරණය සන්හිඳුවන ලදැයි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුවන ලද ද යත්: සම්මුඛයාවිනයයෙනි. එහි සම්මුඛා විනයය කිමෙක් ද? සංඝසම්මුඛතා ධර්‍මසම්මුඛතා විනයසම්මුඛතා පුද්ගලසම්මුඛතා යන සතර ය.
44. එහි සඞ්ඝසම්මුඛතා නම් කවර යැ? යම් පමණ මහණ කෙනෙක් ඒ විනයකර්‍මයට සුදුසු නම් ඔහු ආවාහු වෙත් ද, ඡන්‍දය දීමට සුදුසු මහණුන්ගේ ඡන්‍දය ගෙනෙන ලද්දේ වේ ද, හමු වූ මහණහු ප්‍රතික්‍රෝශ නො කෙරෙද්ද. (නො වළකාලත් ද) මේ එහි සඞ්ඝ සම්මුඛතා යි.
එහි ධර්‍මසම්මුඛතා විනායසම්මුඛතා නම් කවුරු යැ? යම් ධර්‍මයෙකින් යම් විනයයෙකින් යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සංසිදෙන්නේ ද, මේ එහි ධර්‍මසම්මුඛතා විනයසම්මුඛතා යි.
එහි පුද්ගලසම්මුඛතා නම් කවර යැ? යමෙකුත් විවාද කෙරෙයි ද, යමක් හු හාත් විවාද කෙරෙයි ද, දෙපසැ වූවෝත් හමු වූවාහු වෙත් ද, මේ එහි පුද්ගලසම්මුඛතා යි. මහණෙනි. මෙසේ සංඝිඳුවන ලද අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ ද (යලි මතු කරන්නේ ද) ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වෙයි, ඡන්‍දය දුන් මහණ තෙම දොස් නඟන්නේ නම් ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.
මහණෙනි, ඉදින් ඒ මහණහු ඒ ආවාසයට යන්නාහු, අතරමඟදී ඒ අධිකරණය සන්හිඳුවන්නට නො හැකිවන්නාහු නම්, මහණෙනි, ඒ මහණුන් විසින් ඒ ආවාසයට ගොස්, “ඇවැත්නි, මේ අධිකරණය වූකලි මෙසේ උපන, මෙසේ පහළ වීය. ඇවැත්නි, යාච්ඤා කරම්හ, යම්සේ මේ අධිකරණය මොනොවට සන්හිඳුණේ වන්නේ ද, එසේ ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් මේ අධිකරණය සන්හිඳුවත් වා” යි ඒ මහණහු කියයුතු වන්නාහ (ඒ මහණුනට කිය යුතු වන්නේය).