උබ්බාහිකායෙන් සන්හිඳුවීම
47. මහණෙනි, ඒ මහණුන් විසින් ඒ අධිකරණය විනිශ්චය කරණු ලබන කල්හි කෙළවරක් නැති කතාබස් (කථාප්‍රතිකථාවෝ) උපදින්නාහු ද, මේ කියන ලද වචනයෙහි අර්‍ත්‍ථය නොහැඟෙන්නේ ද, මහණෙනි, මෙබඳු වූ අධිකරණය උබ්බාහිකායෙන් සන්හිඳුවන්නට අනුදනිමි.
මහණෙනි, උබ්බාහිකාව පිණිස අඞ්ග දශයෙකින් සමන්‍විත වූ මහණෙක් සම්මත කටයුතු ය. මහණ තෙම සිල්වත් වෙයි ද, පාතිමෝක්ඛසංවර සීලයෙන් හැවුරුනේ, ආචාර ගෝචර දෙකින් යුක්ත වූයේ අල්පමාත්‍ර වූ ද වරදවලැ( බිය දක්නා සුලු වූයේ වෙසෙයි ද (1), ශික්‍ෂා පදයන්හි සමාදන් වැ ගෙන හික්මෙයි ද (2) බොහෝ ඇසූපිරූ තැන් ඇත්තේ වේ ද, ඇසූ පිරූ දෑ සිතින් දරන්නේ, ඇසූ පිරූ දෑ සිතෙහි රැස් කොට ඇත්තේ වෙයි ද (3) ආදියෙහි යහපත් වූ මධ්‍යයෙහි යහපත් වූ, පර්‍ය්‍යවසානයෙහි යහපත් වූ යම් ධම් කෙනෙක් අර්‍ත්‍ථ සහිත වූ, ව්‍යඤ්ජන සහිත වූ හැම අයුරින් ම පිරිපුන් වූ පිරිසිදු මඟ බඹසර මොනොවට පවසත් නම්, එ බඳු වූ ධමීයෝ ඔහු විසින් බොහෝ සෙයින් අසන ලද්දාහු (සිතින්) දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පුනපුනා සලකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත් ද (4), ඔහු විසින් උභය පාතිමෝක්ඛයෝ විස්තර වශයෙන් මොනොවට ප්‍රගුණ කරණ ලද්දාහු, සූත්‍ර වශයෙන් අනුව්‍යංජන වශයෙන් මොනොවට බෙදන ලද්දාහු, මොනොවට පිහිටුවන ලද්දාහු මොනොවට විනිශ්චය කරණ ලද්දාහු වෙත් ද (5), විනයයෙහි තර වැ පිහිටියේ නො හැකුලුනේ වේ ද, තම පසෙහි වූවනටත් විරුද්ධ පක්‍ෂයෙහි වූවනටත් (කරුණු) හඳුන්වන්නට, කරුණු සිතන්නට, සලකා බලවන්නට, කරුණු තමාත් දකින්නට, දෙපස ම පහදවන්නට සමර්‍ත්‍ථ වෙයි ද (6), අධිකරණ ඉපැදීමෙහි හේතුව සංසිඳුවීමෙහි දක්‍ෂ ද වේ ද (7), අධිකරණය දනී ද, අධිකරණයේ හේතුව දනී ද, අධිකරණයේ නිරුද්ධිය දනී ද, අධිකරණ නිරුද්ධිය පිණිස යෑ යුතු මඟ දනී ද, මහණෙනි, මේ අංග දශයෙන් සමන්‍විත වූ මහණහු උබ්බාහිකාව පිණිස සම්මත කරන්නට අනුදනිමි.
මහණෙනි, මේ මතු කියන පරිදි සම්මත කටයුතු ය: පළමු කොට මහණ තෙමේ ඉල්ලිය යුතුය. ඉල්ලා ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:
“වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා: අප විසින් මේ නඩුව විනිශ්චය කරණු ලබන කල්හි කෙළවරක් නැති කතාබස් (කථා ප්‍රතිකථාවෝ) උපදනාහු ද වෙත්. (එයින්) මේ කියන ලද වචනයා ගේ අදහස ද නො හැගෙයි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ වී නම් සංඝ තෙමේ මෙනම් මහණහු ද මෙනම් මහණහු ද මේ අධිකරණය සන්හිඳුවන්නට උබ්බාහිකාව පිණිස සම්මත කරන්නේ ය. මේ ඥප්තිය යැ. (දැන්වීම යැ).
සංඝ තෙමේ මාගේ වචනය අසාවා. අප විසින් මේ නඩුව විනිශ්චය කරණු ලබන කල්හි කෙළවරක් නැති කතාබස්හු උපදනාහු වෙත්. (එයින් මේ කියන ලද වචනයේ අර්‍ත්‍ථ ද නො හැඟෙයි. (එ බැවින්) සංඝ තෙමේ මේ නඩුව සන්හිඳුවන්නට උබ්බාහිකාව පිණිස මෙනම් මහණහු ද මෙනම් මහණහු ද සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතකුට මේ නඩුව සන්හිඳුවන්නට උබ්බාහිකාව පිණිස මෙනම් මහණහු ද මෙනම් මහණහු ද සම්මත කිරීම රිසියෙයි ද, හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙයි ද හේ කියාවා.
මේ නඩුව සන්හිඳුවන්නට මෙනම් මහණ ද උබ්බාහිකාව පිණිස සංඝයා විසින් සම්මත විය. සංඝයාට එය රිසි දෙයයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙ කරුණ සලකමි. (පිළිගනිමි)” යනු යි.
මහණෙනි, ඉදින් ඒ මහණහු උබ්බාහිකායෙන් ඒ නඩුව සන්හි වන්නට හැකි වන්නාහු නම්, මහණෙනි, මේ නඩුව සන්හිඳුනේ යැ යි යනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛාවිනයයෙන් ය. එහි සම්මුඛ්‍ය විනයය කිමෙක් ද? ධර්‍මසම්මුඛතාව විනය සම්මුඛතාව පුද්ගලසම්මුඛතාව ...... මහණෙනි, මෙසේ සන්හිඳුනු නඩුව කාරකයෙක් (ඒ නඩුවට සම්බන්‍ධ වූයෙක්) යලිදු විසඳනු පිණිස උත්කෝටනය කරන්නේ නම් (මතු කරන්නේ නම්) උත්කෝටනක පචිති ඇවැත් වෙයි.
මහණෙනි, ඉදින් ඒ මහණුන් විසින් ඒ නඩුව විනිසනු ලබන කල්හි එහි ධර්‍මකථික මහණෙක් වන්නේ නම්, ඔහුට සූත්‍රය (පාතිමොක්ඛය) ප්‍රගුණ ව නොආයේ ද සූත්‍ර විභංගය පුහුණු ව නොම ආයේ ද හේ අර්‍ත්‍ථය නොසලකන්නේ ව්‍යංජනච්ඡායායෙන් අර්‍ත්‍ථය ප්‍රතිබාහනය කෙරෙයි ද, (එබඳු තැන) ව්‍යක්ත වූ ප්‍රතිබල වූ ඒ මහණහු මෙසේ දැන්වියැ යුත්තාහු ය: