ප්රතිඥාතකරණය
57. ආපත්ත්යධිකරණය සමථ කීයෙකින් සන්සිඳෙයි ද? යත්: ආපත්ත්යධිකරණය සම්මුඛාවිනයයෙන් ද ප්රතිඥාතකරණයෙන් ද තිණවත්ථාරකයෙන් ද යන සමථ තුනින් සන්සිඳේ.
ආපත්ත්යධිකරණය, තිණවත්ථාරක නම් වූ එක් සමථයකට නො පැමිණ සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද යන සමථ දෙකින් සන්සිඳෙන්නේ ය යන්න විය හැකි ද? විය හැකි යැයි කියයුතු වන්නේ ය. කෙසේ යත්: මෙහි මහණෙක් ලුහු ඇවතකට පැමිණියේ වෙයි. මහණෙනි, ඒ මහණහු විසින් එක් මහණකු කරා එළඹ උතුරු සඟ එකස් කොට වැඩිමහලු මහණුන්ගේ පා වැඳ උක්කුටුක වැ හිඳ දොහොත් මුදුන්හි කොට, “ඇවැත්නි, මම් මෙ නම් ඇවැතකට පැමිණියෙමි, එය දෙසමි” යි මෙසේ කිය යුතු වන්නේ යැ. ඔහු විසින් (අනිත් මහණහු විසින්) ‘ඇවැත දක්හිදැ ?’ යි කියැ යුතු. ‘එසේ ය, දකිමි’ යි පළමු මහණහු විසින් කියැ යුතු ‘මත්තෙහි සංවර වඩව’ යි දෙවැනි මහණහු විසින් කියැ යුතු,
මහණෙනි, මේ අධිකරණය (මෙසේ) සන්සිඳුනේ ය යි කියනු ලැබේ. කිමෙකින් සන්සිඳුනේ ද? යත්: සම්මුඛාවිනයයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද යන දෙකිනි. එහි සම්මුඛාවිනයය කවර යැ ? ධර්මසම්මුඛතාව විනය සම්මුඛතාව පුද්ගලසම්මුඛතාව යන තුන ය ... එහි පුද්ගල සම්මුඛතාව කවර යැ: යමෙක් ඇවැත දෙසා නම්, හේ මහණ ද යමකුට ඇවැත දෙසා නම් ඒ මහණ ද යන දෙදෙනා හමු වූවාහු වෙත් ද, මෙය එහි පුද්ගලසම්මුඛතාව යැ. එහි පටිඤ්ඤාතකරණය නම් කවර යැ? පටිඤ්ඤාතකරණ කර්මයාගේ යම් කියාවෙක් කිරීමෙක්, එළඹීමෙක්, අධ්යෙෂණයෙක්, ඉවැසීමෙක්, අප්රතිෂේධනයෙක් වේ ද, මේ එහි පටිඤ්ඤාතකරණය යි. මහණෙනි, ඉදින් මෙසේ සන්සිඳුනු අධිකරණයක් ප්රතිග්රාහක මහණ තෙමේ (යළිත් සන්සිඳවනු පිණිස උත්කෝටනය කෙරෙයි ද (ඉදිරියට අදී ද) ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ.
58. මහණෙනි, මෙසේ ඒ අධිකරණය සමථය ලබන්නේ නම්, ඒ මැනැවැ. ඉදින් නොලබන්නේ නම්, මහණෙනි, ඒ මහණහු විසින් බොහෝ මහණුන් කරා එළැඹ උතුරු සඟ එකස් කොට, වැඩිමාලු මහණුන්ගේ පා වැඳ උක්කුටුක වැ හිඳ, දොහොත් මුදුනැ නඟා “වහන්ස, මම් මෙ නම් ඇවැතට පැමිණියෙම් වෙමි. එය දෙසමි” යි මෙසේ කියයුතු වන්නාහ. ව්යක්ත ප්රතිබල මහණක්හු විසින් “ආයුෂ්මත්හු මගේ වචනය - අසත්වා. මේ මෙනම් මහණ ඇවැත හෙළි කරයි, ඇවැත පෙහෙළි කරයි. ඇවැත දෙසයි. ඉදින් ආයුෂ්මත්නට සුදුසු කල් ඇත්තේ යැ යි හැඟේ නම්, මම මෙනම් මහණහුගේ ඇවැත පිළිගන්නෙමි” යි මහණහු දැන්විය යුත්තාහ.
ඒ ප්රතිග්රාහක මහණහු විසින් ඇවැත දක්නෙහි දැ?’ යි ඉතර මහණට කියයුතු. ‘එසේ යැ, දකිමි’ යි දේශක මහණහු විසින් කියැ යුතු, ‘මත්තෙහි සංවර කරව’ යි ප්රතිග්රාහක මහණහු විසින් කියැ යුතු.
මහණෙනි, (මෙසේ) මේ අධිකරණය සන්සිඳුනේයැ යි කියනු ලැබේ. කිමෙකින් සන්සිඳුනේ ද? යත්: සම්මුඛාවිනයයෙන් ද ප්රතිඥාතකරණයෙන් ද යන දෙකිනි. එහි සම්මුඛාවිනය කවර යැ? ධර්මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන තුන යැ..... එහි පුද්ගලසම්මුඛතාව කවර යැ? යමෙක් ඇවැත දෙසයි ද, යමකුටත් දෙසයි ද, මේ දෙසක ප්රතිග්රාහක දෙදෙනා හමු වූවාහු වෙත් ද, මේ එහි පුද්ගල සම්මුඛතාව යැ. එහි ප්රතිඥාතකරණය කවර යැ? ප්රතිඥාත කරණ කර්මයා ගේ යම් ක්රියායෙක්, කිරීමෙක්, එළැඹීමෙක්, අධ්යෙෂණයෙක්, ඉවැසීමෙක්, අප්රතිෂේධන, යෙක් වේ ද, මේ එහි ප්රතිඥාතකරණය යැ. මහණෙනි, ඉදින් මෙසේ සන්සිඳුනු අධිකරණය ප්රතිග්රාහක මහණ තෙම නැවැත සන්සිඳුවනු පිණිස ඉදිරියට අදනේ ද, ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ.
59. ඉදින් මෙය මෙසේ ලබන්නේ නම් ඒ මැනව. ඉදින් නො ලබන්නේ නම්, මහණෙනි, එ මහණහු විසින් සංඝයා කරා එළැඹ, උතුරුසඟ එකස් කොට වැඩිමාලු මහණුන්ගේ පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා ගෙන, “වහන්ස, මම් මෙ නම් ඇවැතට පැමිණියෙමි. එය දෙසමි” යි මෙසේ කියැ යුතු වන්නේ ය. ව්යක්ත ප්රතිබල මහණක්හු විසින් “වහන්ස, සංඝ තෙමේ මේ මගේ වචනය අසාවා. මේ මෙනම් මහණ ඇවැත සිහි කරයි. හෙළි කරයි, පෙහෙළි කරයි, දෙසයි. ඉදින් සංඝයාට සුදුසු කල් වී යැයි හැඟේ නම්, මම් මෙනම් මහණහුගේ ඇවැත පිළි ගන්නෙමි’ යි සංඝ තෙමේ දැන්වියැ යුතු. ඒ ප්රතිග්රාහක මහණ විසින් ‘ඇවැත දකිහි දැ?’ යි කියැ යුතු ‘එසේ ය, දකිමි’ යි දේශකයා විසින් කියැ යුතු. ‘මත්තෙහි සංවරය වඩව’ යි ප්රතිග්රාහකයා විසින් කියැ යුතු.
මහණෙනි, (මෙසේ) මේ අධිකරණය සන්සිඳුනේ යැ”යි කියනු ලැබේ. කිමෙකින් සන්සිඳුනේ ද යත්: සම්මුඛාවිනයයෙන් ද ප්රතිඥාතකරණයෙන් ද යන දෙකිනි, එහි සම්මුඛාවිනයය කවර යැ ? සංඝසම්මුඛතාව ධර්මසම්මුඛතාව විනයසම්මුඛතාව පුද්ගලසම්මුඛතාව යන සතර යැ ... මහණෙනි, ඉදින් මෙසේ සන්සිඳුනු අධිකරණය ප්රතිග්රාහක තෙමේ උත්කෝටනය කරන්නේ නම් ඔහුට උත්කෝටනක පාචිත්තිය ඇවැත වේ. ඡන්දදායක මහණ නින්දා කරන්නේ නම් ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.