තස්සපාපිය්‍යසිකා
55. අනුවාදාධිකරණය සතිවිනයය ද අමූළ්හවිනයය ද යන ශමථ දෙකට නොපැමිණ, සම්මුඛාවිනයයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද යන ශමථ දෙකින් සංසිඳෙන්නේ ය යන්න විය හැකි ද? විය හැකියැ යි කිය යුතු වන්නේ ය.
කෙසේ ද යත්, මෙහි මහණෙක් මහණකුට සඟමැදදී “ආයුෂ්මත් තෙමේ පරිජි ඇවැතකට හෝ පරිජියට සාමන්ත (දුකුළා හෝ ථූලසි) ඇවැතකට හෝ මෙබඳු ගරු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා” යි ගරු ඇවැතෙකින් චෝදනා කරයි.
ඒ (චූදිත) මහණ තෙම “ඇවැත්නි, පරිජි ඇවැතට හෝ පරිජියට සාමන්ත (දුකුළා හෝ ථූලසි) ඇවැතකට හෝ මෙබඳු ඇවැතකට පැමිණියා මම් සිහි නො කරමි” යි කියයි.
ඒ (චෝදක) මහණ තෙම “එසේ නම් ආයුෂ්මත් තෙමේ ‘පරිජි හෝ පරිජියට සාමන්ත (දුකුළා හෝ ථූලසි) ඇවතකට හෝ පැමිණියෙමි’යි සිහි කෙරෙහි නම් මනාකොට ම එය දැනගන්නැ “ යි යථෝක්ත වුදිත මහණහු වඩාත් චෝදනායෙන් වෙළයි.
ඒ වුදිත මහණෙතම “ඇවැත්නි, පරිජි ඇවැතට හෝ පරිජියට සාමන්ත ඇවැතකට හෝ මෙසේ වූ ඇවැතකට පැමිණියෙමි’යි මම් නො ම සිහි කරමි. ඇවැත්නි, එතෙකුදු වුවත් මෙබඳු වූ අල්පමාත්‍ර ඇවැතකට පැමිණියෙමි යි සිහි කෙරෙමි” යි මෙසේ කියයි.
එසේ වී නම්, ආයුෂ්මත් තෙමේ ‘පරිජි ඇවැතට හෝ පාරාජිකසාමන්ත ඇවැතකට හෝ මෙසේ වූ ගරු ඇවැතකට පැමිණියෙමි’යි ඉදින් සිහි කෙරෙහි නම් එය මනාකොට ම දැනගන්නැ’යි චෝදක මහණ තෙමේ යථෝක්ත චෝදනා වෙළුමෙන් මිදෙන්නට සැරසෙන මහණහු වඩාත් දැඩි කොට වෙළයි.
‘ඇවැත්නි, මම් මෙ නම් අල්පමාත්‍ර ඇවැතකට පැමිණ නො විචාරණ ලද්දෙම් ප්‍රතිඥා කරන්නෙමි. කිමෙක් ද? පරිජිඇවතට හෝ පරිජි ඇවැතට සාමන්ත වූ ඇවැතකට හෝ මෙබඳු වූ ගරු ඇවැතකට පැමිණ විචාරණ ලද්දෙම් ප්‍රතිඥා නො කරන්නෙම් ද?’යි ඒ චූදිත මහණ මෙසේ කියයි.
එවිට ඒ චෝදක මහණ තෙම ‘ඇවැත්නි, ඔබ මෙනම් වූ අල්පමාත්‍ර ඇවැතකට පැමිණ, නොවිචාරණ ලද්දෝ එය ප්‍රතිඥා කරන්නහු ය. (එසේ කල්හි) පරිජි හෝ පරිජියට සාමන්ත ඇවතකට හෝ මෙබඳු ගරු ඇවැතකට පැමිණ කිමෙක් ද? විචාරණ ලද්දාහු ප්‍රතිඥා නො කරන්නහු ද? එබැවින් ඉදින් පරිජියකට හෝ පරිජියට සාමන්ත ඇවැතකට හෝ මෙසේ වූ ගරු ඇවැතකට පැමිණියෙමි’යි ඉදින් සිහි කරවු නම්, එය මොනොවට ම දැනගන්නැ’ යි. මෙසේ කියයි.
(එවිට) ඒ චූදිතක මහණ තෙම “ඇවැත්නි, පරිජි ඇවැතකට හෝ පරිජියට සාමන්ත ඇවැතකට හෝ මෙබඳු වූ ගරු ඇවැතකට පැමිණියෙමි යි මා කීවා සිහි කෙරෙමි ඇවැත්නි, එය මා විසින් කෙළි පිණිස කියන ලදි, එය මා විසින් විහිළු පිණිස කියන ලදී. පරිජි ඇවැතකට හෝ පරිජියට සාමන්ත ඇවැතකට හෝ මෙබඳු ඇවැතකට මම් පැමිණියෙමි’යි කියා නම් නො ම සිහි කෙරෙමි” යි මෙසේ කියයි.
56. මහණෙනි, එසේ කියන ඒ මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය කළයුතු. මහණෙනි, මෙසේ වනාහි එය කළ යුතු: ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින්
“වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙම සඟ මැද දී ගරු ඇවැතින් ප්‍රශ්න කරණු ලබන්නේ අවඥා කොට (වරද නො පිළිගෙන) ප්‍රතිඥා කෙරෙයි (නැවැත පිළිගනියි) ප්‍රතිඥා කොට (එසේ ය. වරදට පැමිණියෙමි යි පිළිගෙන) අවඥා කෙරෙයි (ක්‍රීඩා වශයෙන් එසේ කීයෙමි යි යන ආදි බසක් කියා නොපිළිගනී හෝ වරද යටපත් කෙරෙයි). එකෙකින් අනෙකක් වසාලයි. (වරදට පැමිණියෙමි යි) දන්නේ ම බොරු කියයි. ඉදින් සංඝයාට සුදුසු යැ යි හැඟෙන්නේ නම්, සංඝ තෙමේ මෙනම් මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය කරන්නේ ය. මේ ඥප්තිය යි.
වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා. මේ මෙනම් මහණ තෙම සඟමැදදී ගරු ඇවැතෙකින් අනුයෝග කරණු ලබන්නේ, අවඥා කොට ප්‍රතිඥා කෙරෙයි ප්‍රතිඥා කොට අවඥා කෙරෙයි අන් කරුණෙකින් අනෙකක් වසාලයි, දැන දැන මුසවා බෙණෙයි, සංඝ තෙමේ මෙනම් මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය කෙරෙයි. මෙනම් මහණහට තස්සපාපිය්‍යසිකා කර්‍මය කිරීම යම් ආයුෂ්මතක්හට රිසියෙයි නම්, හේ නිහඬ වන්නේය, යම් ආයුෂ්මතක්හට නො රිසියෙයි නම් හේ කියාවා. දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ... සංඝයා විසින් මෙනම් මහණහට තස්සපාපිය්‍යසිකාකර්‍මය කරණ ලදි. සංඝයාට රිසියෙයි, එහෙයින් නිහඬ ය. මෙසේ මේ කරුණ දරමි” යනුයි.
මහණෙනි, මේ අධිකරණය (මෙසේ) සන්සිඳුනේ යැයි කියනු ලැබේ. කිමෙකින් සන්සිඳුනේද? යත්: සම්මුඛාවිනයයෙන්ද, තස්සපාපිය්‍යසිකායෙන් ද යන දෙකිනි. එහි සම්මුඛාවිනයය කවර යැ ? සංඝසම්මුඛතාව, ධර්‍මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුද්ගල සම්මුඛතාව යන සතර යි ... එහි තස්සපාපිය්‍යසිකාව කවර යැ? තසසපාපිය්‍යකාකර්‍මයා ගේ යම් ක්‍රියාවෙක්, කිරීමෙක්, එළැඹීමෙක්, අධ්‍යෙෂණයෙක්, ඉවැසීමෙක්, අප්‍රතිෂේධනයෙක් වේ ද, මෙය එහි තස්සපාපිය්‍යසිකාව යැ. මහණෙනි, ඉදින් මෙසේ සංසිඳුනු , අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ ද, උක්කෝටනක පාචිත්තිය ඇවැත වේ. ඡන්‍දදායක මහණෙක් නින්‍දා කෙරෙයිද, ඔහුට ඛීයනක පාචිත්තිය වෙයි.