අමූළ්හවිනය
54. අනුවාදාධිකරණය සතිවිනයය ද තස්සපාපිය්යසිකාව ද යන ශමථ දෙකට නොපැමිණ සම්මුඛාවිනයයෙන් ද අමූළ්හවිනයයෙන් ද යන ශමථ දෙකින් සන්හිඳෙන්නේ ය යන්න විය හැකි ද? විය හැකියැ යි කියැයුතු වන්නේ ය. කෙසේ ද යත්: මෙහි මහණෙක් සිත් පෙරැළියට පැමිණි උමතුවෙක් වෙයි. සිත් පෙරැළියට පැමිණි ඒ උමතු මහණහු විසින් ශ්රමණ සාරුප්ය නොවූ බොහෝ කියුම් කැරුම් ද කරණ ලද්දේ වෙයි. උමතු වැ සිත් පෙරැළියට පැමිණ කළ දෑ හේතු කොට ගෙන ‘ආයුෂ්මත් තෙමේ මෙබඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා’ යි මහණහු එ මහණහට ඇවැතින් චෝදනා කෙරෙත්. “ඇවැත්නි, මම් සිත් පෙරැළියට පත් උමතුවෙකිම් වීමි. උමතු වූ සිත් පෙරැළියට පැමිණි ඒ මා විසින් කායික වාචසික වශයෙන් බොහෝ ශ්රමණසාරුප්ය නොවූ දෑ කරණ ලදි. එය මම් සිහි නො කරමි. සිහි මුළා වූ මා විසින් එය කරණ ලදැ” යි හේ මෙසේ කියයි. ඔහු විසින් මෙසේ කියනු ලබන්නාහු ද ඔහු ඒ මහණහට “ආයුෂ්මත් තෙමේ මෙ බඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා” යි චෝදනා කෙරෙත් ම ය. මහණෙනි, නොමුළා වූ ඒ මහණහට අමූළ්හවිනය දිය යුතු ය.
මහණෙනි, එය මෙසේ ම දිය යුතු: ඒ මහණහු විසින් සංඝයා වෙත එළැඹ, උතුරුසඟ එකස් කොට වැඩිමහලු මහණුන්ගේ පා වැඳ උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා “වහන්ස, මම් සිත් පෙරැළියට පත් උමතුවෙකිම් වීමි. උමතුවූ සිත් පෙරැළියට පත් ඒ මා විසින් මහණුනට නො සරුප් වූ කායික වූ ද වාචසික වූ ද බොහෝ වරද කරණ ලද්දේ ය. මහණහු උමතු වූ සිත් පෙරැළියට පත් මා විසින් කළ වරද හේතු කොට ගෙන මහණහු මට, ‘ආයුෂ්මත් තෙමේ මෙ බඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේවා’ යි මට චෝදනා කෙරෙත්. ‘ඇවැත්නි, මම් උමතු වූ සිත් පෙරැළියට පැමිණියෙකිම් වීමි. උමතු වූ සිත් පෙරැළියට පැමිණි ඒ මා විසින් වචනයෙන් කියන ලද්දාවූ ද, කයින් කරණ ලද්දාවූ දැ යි බොහෝ ශ්රමණ සාරුප්ය නොවූ වරද දෑ කරණ ලදී. ඒ දෑ මම් සිහි නො කෙරෙමි. සිහිමුළා වූ මා විසින් ඒ දෑ කරණ ලදැ’ යි ඔවුනට මම් මෙසේ කියමි. මෙසේ කියනු ලබන්නා වූ ද ඔහු මට ‘ආයුෂ්මත් තෙමේ මෙ බඳු ඇවැතකට පැමිණියා සිහි කෙරේ වා’ යි මට චෝදනා කෙරෙත් ම ය. වහන්ස, ඒ මම් සිහිමුළාව නැත්තෙම් සංඝයා ගෙන් අමූළ්හවිනයය ඉල්ලමි” යි. මෙසේ කියැ යුතු වන්නේ ය. දෙවෙනි වර ද මෙසේ ඉල්ලිය යුතු ... තෙවෙනි වර ද ඉල්ලියැ යුතු ...
ව්යක්ත වූ ප්රතිබල වූ මහණකු විසින් සංඝ තෙමේ මෙසේ දැන්විය යුතු: “සංඝ තෙමේ මාගේ වචනය අසාවා, මේ මෙනම් මහණ වෙතම සිත් පෙරැළීමට ගිය උමතුවෙක් විය, සිත් පෙරැළීමට ගිය උමතු වූ ඔහු විසින් කායික වූ ද වාචසික වූ ද අශ්රාමණක වූ බොහෝ වරද කරණ ලද්දේ ය. මහණහු ඒ මහණහට සිත් පෙරැළීමට ගිය උමතු වූ ඔහු විසින් කරණ ලද වරදින් ඇවැතින් ‘ආයුෂ්මත් තෙමේ මෙබඳු වූ ඇවැතකට පැමිණියා සිහි කෙරේවා’යි චෝදනා කෙරෙත්, හෙ තෙමේ “ඇවැත්නි, ... උමතුවීමි’ ... යි මෙසේ කියයි. හේ සිහිමුළාව නැත්තේ සංඝයා ගෙන් අමූළ්හ විනයය ඉල්ලයි. ඉදින් සංඝයාට ප්රාප්තකාල වේ නම් සංඝ තෙමේ සිහිමුළාව නැත්තා වූ මෙනම් මහණහට අමූළ්හවිනයය දෙන්නේ ය. මේ ඥප්තිය යි.
වහන්ස, සංඝ තෙමේ මගේ වචනය අසාවා, මේ මෙනම් මහණ තෙම සිත් පෙරැළියට ගිය උමතුවෙක් විය ... හේ ‘ඇවැත්නි, මම් සිත් පෙරැළියට ගිය උමතුවෙකිම් වීමි ... සිහිමුළාවෙන් තොරවූ හේ සංඝයා ගෙන් අමූළ්හවිනයය ඉල්ලයි. සංඝ තෙමේ සිහිමුළාව නැත්තා වූ මෙනම් මහණහට අමූළ්හවිනයය දෙයි. මුළාව නැත්තාවූ මෙනම් මහණහට අමූළ්හවිනයය දීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම් හේ නිහඬ වේවා. යමකුට නො රිසියෙන්නේ නම්, හේ කියාවා, දෙවෙනි වරද මෙ කරුණ කියමි.
සංඝයා විසින් සිහිමුළාවෙන් තොර වූ මෙනම් මහණහට අමූළ්හ විනයය දෙන ලද්දේ ය. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය, මෙසේ මෙය සලකමි” යනු යි.
මහණෙනි, මේ අධිකරණය සන්හිඳුනේ යැයි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛයාවිනයෙන් ද අමූළ්හවිනයයෙන් ද යන දෙකිනි. එහි සම්මුඛාවිනයය කවර යැ? සංඝසම්මුඛතාව ධර්මසම්මුඛතාව, විනය සම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන සතර යැ. එහි අමූළ්හවිනය කවර යැ? අමූළ්හවිනයකර්මයා ගේ යම් ක්රියායෙක්, කිරීමෙක්, එළඹීමෙක්, අභ්යූපගමනයෙක්, ඉවැසීමෙක්, අප්රතික්රෝශනයෙක් වේ ද, මේ එහි අමූළ්හවිනය යැ. මහණෙනි, මෙසේ සන්හිඳුණු අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කරන්නේ ද, ඔහුට උත්කෝටනය පාචිත්තිය ඇවැත වේ. ඡන්දදායක තෙමේ (මේ අධිකරණ ව්යුපශමයයට) නින්දා කරන්නේ ද, ඔහුට බියනක පාචිත්තිය ඇවැත වේ.