සතිවිනය
53. අනුවාදාධිකරණය ශමථ කීයෙකින් සන්හිඳෙයි ද? අනුවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමූළ්හවිනයයෙන් ද තස්සපාපිය්‍යසිකායෙන් ද යන ශමථ සතරින් සන්හිඳෙයි.
අනුවාදාධිකරණය අමුළ්භවිනයය ද තස්සපාපිය්‍යසිකාව ද යන ශමථ දෙකට නොපැමිණ සම්මුඛාවිනයයෙ න් ද සතිවිනයයෙන්ද යන ශමථ දෙකින් සන්හිඳෙන්නේ ය යන්න විය හැකිද? වියහැකි යයි කිය යුතු වන්නේ ය. කෙසේ වූ දැයක් මෙන් ද යත්: මෙහි මහණකුට අමූලක ශිලවිපත්තියෙන් චෝදනා කෙරෙත් නම් මහණෙනි, මහණහු සිහිය වැඩීමට පැමිණි එ මහණහට සතිවිනය දිය යුතු ය.
මහණෙනි, (සතිවිනය) මෙසේ දිය යුතු ය: මහණෙනි, ඒ මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ තනිපට සිවුර එකස් කොට පෙරෙවැ උක්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා “වහන්ස, භික්‍ෂූහු මට අමූලක වූ ශීලවිපත්තිචෝදනායෙන් චෝදනා කෙරෙත්. වහන්ස, ඒ මම් සිහිය වැඩුණු බවට පැමිණියෙම් සඞ්ඝයා ගෙන් සතිවිනය යදිමි” යි මෙසේ කියැ යුතු වන්නේ ය. දෙවනු ද යැදිය යුතු, තෙවනු ද යැදිය යුතු.
ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් ‘වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. භික්‍ෂූහු මෙනම් මහණහට අමූලක ශිලවිපත්තියෙන් චෝදනා කෙරෙත්. හේ සිහිය වැඩුණු බවට පැමිණියේ, සංඝයා ගෙන් සතිවිනය යදී. ඉදින් සංඝයාට ප්‍රාප්තකාලය වේ නම් සංඝ තෙමේ සිහිවැඩුණබවට පත් මෙනම් මහණහට සතිවිනය දෙන්නේ ය. මේ ඥප්තිය යැ.
වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා, මහණහු මෙනම් මහණහට අමූලක ශීලවිපත්තියෙන් චෝදනා කෙරෙත්. සිහිය වැඩුණ බවට පත් හෙ තෙමේ සංඝයා ගෙන් සතිවිනය යදී, සංඝ තෙමේ සිහිය වැඩුණු බවට පත් මෙනම් මහණහට සතිවිනය දෙයි. සිහිය වැඩුණු බවට පත් මෙනම් මහණහට සතිවිනය දීම යම් ආයුෂ්මතක්හට රිසියෙන්නේ නම්, හේ නිහඬ වේවා. යමකුහට නො රිසියෙන්නේ නම් හේ කියාවා, දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි. සංඝයා විසින් සිහිය වැඩුණු බවට පත් මෙ නම් මහණහට සතිවිනය දෙන ලද්දේ ය. සංඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යි, සංඝ තෙමේ දැන්වීය යුතු.
මහණෙනි, (මෙසේ) මේ අධිකරණය සන්හිඳුනේ යැ යි කියනු ලැබේ. කිමෙකින් සන්හිඳුනේ ද යත්: සම්මුඛවිනයයෙනුත් සතිවිනයයෙනුත් ය. එහි සම්මුඛයා විනය කිමෙක් ද යත්: සංඝසම්මුඛතාව - ධර්‍මසම්මුඛතාව විනයසම්මුඛතාව පුද්ගලසම්මුඛතාව ... යන මේ යි. එහි පුද්ගල සම්මුඛතාව කවර යැ? යමෙකුත් චෝදනා කෙරෙයි ද?, යමකුටත් චෝදනා කෙරෙයි ද? සිය පසෙහිත් විරුද්ධ පක්‍ෂයෙහිත් වූවෝ හමුවෙත් ද? මේ එහි පුද්ගල සම්මුඛතාවය යි. එහි සතිවිනය කවර යැ? සතිවිනය කර්‍මයා ගේ යම් කියාවෙක්, කිරීමෙක්, එළඹීමෙක්, වඩාත් එළැඹීමෙක්, ඉවැසීමෙක්, ප්‍රතික්‍රෝශ නොකිරීමෙක් වෙයි ද, මේ එහි සතිවිනය යි. මහණෙනි, ඉදින් මෙසේ සන්හිඳුණු අධිකරණය කාරක මහණෙක් උත්කෝටනය කෙරෙයි නම්, ඔහුට උත්කෝටනක පාචිත්තිය වෙයි. ඡන්‍දදායක තෙමේ නින්‍දා කෙරෙයි ද, බියනක පාචිත්තිය ඇවැත වේ.